අංගුත්තර නිකාය

එක නිපාතය

5. චූල වර්ගය

50. මහාචොර සූත්‍රය

“මහණෙනි, අංග තුනකින් යුක්තවූ මහා සොරතෙම ගෙවල් බිඳීමද කරයි. උමංකැපීමද කරයි. එක ගෙයක් වටකර කරණලද පැහැරගැන්මද කරයි. මංපැහැරීමද කරයි. කවර තුනකින්ද යත්. මහණෙනි, මේ ලෙව්හි මහා සොරතෙම විෂම ස්ථානයන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. වනලැහැබක් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. බලවතුන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි.

“මහණෙනි, මහා සොරතෙම කෙසේනම් විෂමවූ තැන් ඇසුරුකොට වාසය කරන්නේද, මහණෙනි, මෙහි මහා සොරතෙම නදී දුර්ගම ස්ථාන හෝ ඇසුරුකොට වාසයකරයි. විෂමවූ පර්වතයන් හෝ ඇසුරුකොට වාසය කරයි. මහණෙනි, මහා සොරතෙම මෙසේ විෂම ස්ථාන ඇසුරුකොට වාසය කරන්නේ වෙයි.

“මහණෙනි, කෙසේනම් මහාසොරතෙම වනලැහැබක් ඇසුරුකොට වාසයකරන්නේද, මහණෙනි, මේ මහා සොර තෙම තෘණයන්ගෙන් ගැවසීගත් තැනක් හෝ ඇසුරුකරන්නේ වේ ඝනවූ වනලැහැබක් හෝ ඇසුරුකරන්නේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහ සොරතෙම වනලැහැබක් ඇසුරුකොට වසන්නේ වේ.

“මහණෙනි, මහසොරතෙම කෙසේ බලවතුන් ඇසුරු කොට වාසයකරන්නේද? මහණෙනි, මෙහි මහා සොරතෙම රජ හෝ රජමහ ඇමතියන් හෝ ඇසුරුකොට වාසය කරයි. ඕහට මෙසේ අදහස් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියාද මගේ මේ රජවරු හෝ රජමහ ඇමතියන් හෝ ඒ ඒ කරුණු දක්වා හිතවත්ව කථාකරන්නාහුය’ කියායි ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියානම් ඔහුගේ ඒ රජදරුවෝ හෝ රජමහ ඇමතියෝ හෝ කරුණු දක්වා හිතවත්ව කථාකරත්. මහණෙනි, මෙසේ මහා සොරතෙමේ බලවතුන් ඇසුරුකොට වාසය කරයි. මහණෙනි, මේ අංග තුනින් යුත් මහා සොර තෙමේ ගෙවල් බිඳීමද කරයි. උමං කැපීමද කරයි. එක ගෙයක් වටකර කරණ පැහැරගැන්මද කරයි. මංපැහැරීමද කරයි.

“මහණෙනි, එසේම කරුණු තුනකින් යුත් පවිටු භික්ෂුව නසනලද විනාශ කරණ ලද තම ආත්මය පරිහරණය කරයි. අපවාද කළ යුත්තෙක්ද වෙයි නුවණැතියන් විසින් කිය යුත්තෙක්ද වෙයි. බොහෝ අකුශල්ද රැස්කරයි. කවර තුනකින්ද යත්

“මහණෙනි, මේ ‘ශාසනයෙහි පවිටුභික්ෂුව විෂමස්ථාන ඇසුරු කළේ වේද, වනලැහැබ් ඇසුරු කළේද, බලවතුන් ඇසුරු කළේවේද වේ.

“මහණෙනි, කෙසේනම් පවිටු භික්ෂුව විෂමස්ථාන ඇසුරු කළේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණ තෙම විෂමවූ කායකර්මයෙන් යුක්ත වේද, විෂමවූ වාක් කර්මයෙන් යුක්තවේද, විෂමවූ මනොකර්මයෙන් යුක්තවේද, මහණෙනි, මෙසේ වනාහි පාප භික්ෂුව විෂමස්ථාන ඇසුරු කරන්නේ වේ.

“මහණෙනි, කෙසේ නම් පාප භික්ෂුව වනලැහැබ් ඇසුරුකොට වාසය කරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණතෙම මිථ්‍යාදෘෂ්ටික වේද, දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම වනලැහැබ ඇසුරුකොට වාසයකළේ වේ.

“මහණෙනි, කෙසේනම් පවිටු මහණතෙමේ බලවතුන් ඇසුරුකොට වාසය කරන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණතෙම රජුන් හෝ රජමහ ඇමතියන් හෝ ඇසුරුකොට වසන්නේ වෙයි. ඔහුට මෙසේ අදහස්වෙයි. ‘ඉඳින් මට කිසිවෙක් කිසිවක් කියන්නේද මට මාගේ රජුන් හෝ රජමහ ඇමතියන් හෝ කරුණු දක්වා හිතවත්ව කථා කරන්නාහුය’ කියායි ඉඳින් ඔහුට කිසිවෙක් කිසිවක් කියයි නම් රජවරු හෝ රජමහ ඇමතියන් හෝ කරුණු දක්වා හිතවත් කථා කරත්. මහණෙනි මෙසේ පාප භික්ෂුව බලවතුන් ඇසුරුකළේ වේ.

“මහණෙනි, මේ කරුණු තුනින් යුක්තවූ පාප භික්ෂුව නසන ලද විනාශ කරණ ලද ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් වරද පෙන්වා කියයුත්තේද අවවාද කට යුත්තේද වේ. බොහෝ අකුශල්ද රැස්කරයි.

(පස්වැනි චූල වර්ගය නිමි.) (පළමුවැනි පනස සම්පූර්ණයි.)