අංගුත්තර නිකාය
එක නිපාතය
7. මහා වර්ගය
65. කාලාම සූත්‍රය
එක් සමයක භාග්‍යවතුන්වහන්සේ කොසොල් ජනපදයන්හි මහත් භික්ෂූ සංඝයා සමග චාරිකාවෙහි වඩිනුයේ කාලාම නම් ක්ෂත්‍රියන්ගේ කෙසපුත්ත නම් නියම්ගම යම්තැනෙක් හිද එහි වැඩිසේක. කෙසපුත්ත නියම්ගම් වැසි කාලාම නම් ක්ෂත්‍රියයෝ මේ කාරණය ඇසුවාහුය. කුමක්ද? ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කේසපුත්ත නම් නියම්ගමට පැමිණියහ.
“ඒ භාග්‍යවත් ගෞතමයන් පිළිබඳව මෙවැනි යහපත් කීර්ති ශබ්දයක් පැනනැංගේය. (13 වෙනි සූත්‍රයේ 2 ඡෙදයේ ‘ඒ යන තැනසිට මෙසේ’ යන තැනට එබඳු රහතුන්ගේ දැකීම යහපත් වෙය කියායි.
“ඉක්බිති කෙසපුත්ත ගම්වැසි කාලාම ශාක්‍යයෝ භාගවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ සමහරෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්හ, සමහරෙක් භාග්‍යවතුන්වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන්වහන්සේ දෙසට ඇදිලිබැඳ එක්පසෙක හිඳගත්හ. සමහරෙක් නාමගොත්‍ර අස්වා එක්පසෙක හිඳගත්හ. සමහරෙක් නිශ්ශබ්දව එක් පසෙක හිඳගත්හ.
එක් පසෙක හිඳ ගත්තාවූ ඒ කෙස පුත්ත නියම් ගම් වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මේ කෙස පුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වත්. ප්‍රකාශ කරත්. අනික් වාදයන්ට ගරහත්, නින්දා කරත්, බැහැර කරත්. ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙස පුත්ත ගමට එත්. ඔව්හුද තමන්ගේ වාදයම කෙතෙක්ද දක්වත්, ප්‍රකාශ කරත්. අනික් වාදයන්ට ගරහත්, නින්දා කරත්, බැහැර කරත්. ස්වාමීනි ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට සාංකා ඇතිවන්නේ සැක ඇතිවන්නේය. කියායි.
“කාලාමයෙනි, තොප විසින් සැක සාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට සාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණය කොට ගන්නා ලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි. ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙම අපගේ ගුරු යයිද නොපිළිගනිව්. කාලාමයෙනි යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ සමාදන් වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත පිණිස දුක් පිණිස පවතිත් යයි තුමූම දන්නාහුද එසේ ඇති කල්හි, කාලාමයෙනි තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නහුය.
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුළ උපදින්නාවූ ලොභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි ලොභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ සතුන්ද මරයි. සොරකම්ද කරයි. පරදාරාවන් කරාද යෙයි. බොරුද කියයි. යමකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
(මේ සූත්‍රයේ 6 ඡෙදයෙහි ‘ලොභය’ වෙනුවට ‘ද්වෙෂය’ යෙදීමෙන් මේ ඡෙදය සකස් කර ගත යුතුයි)
(මේ සූත්‍රයේ 6 ඡෙදයෙහි ‘ලොභය’ වෙනුවට ‘මෝහය’ යෙදීමෙන් මේ ඡෙදය සකස් කරගත යුතුයි)
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද මේ ධර්මයෝ කුසල් හෝ වෙද්ද අකුසල් හෝ වෙද්ද?”-
“ස්වාමීනි, අකුසල්ය.”
“වරද වෙද්ද නිවරද වෙද්ද?”-“ස්වාමීනි, වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දාහු හෝ වෙද්ද නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාහු හෝ වෙත්ද?”-“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.”
“සම්පූර්ණ කරණ ලද්දාහු සමාදන් වන ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිද්ද නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?”-“ස්වාමීනි, පුරන ලද සමාදන් වන ලද මේ ධර්මයෝ අහිත පිණිස දුක් පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වෙයි.”
“කාලාමයෙනි, යම්හෙයකින් මෙසේ යමක් කීයෙමුද? (මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි) එකල්හි තෙපි දුරුකරන්නහුයයි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී. (මෙහි මේ සූත්‍රයේ 6, 7, 8, 9 ඡෙද යෙදිය යුතුයි.) එකල්හි තෙපි ඊට පැමිණ වාසය කරන්නාහුය
“කාලාමයෙනි, ඒ කුමැයි සිතන්නහුද? පුරුෂයා තුළ උපදින්නාවූ අලොභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”-“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුළ උපදින්නාවූ අලොභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”-“ස්වාමීනි හිත පිණිසය.”
“කාලමයෙනි, ලොභයෙන් නොඇලුණාවූ ලොභයෙන් නොමවඩනා ලද්දාවූ විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගලතෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි, පරදාරාවන් කරා නොයයි, බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”-“ස්වාමීනි, එසේය.”
(මේ සූත්‍රයේ 11 ඡෙදයේ ‘අලොභය’ වෙනුවට ‘අද්වෙෂය’ යෙදීමෙන් මේ ඡෙදය සකස්කර ගතයුතුයි.)
(මේ සූත්‍රයේ 11 ඡෙදයේ ‘අලොභය’ වෙනුවට ‘අමොහය’ යෙදීමෙන් මේ ඡෙදය සකස් කරගතයුතුයි.)
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත්ද?”-“ස්වාමීනි, කුසල්ය.”
“වරද හෝ නිවරද හෝ වෙත්ද?”-“ස්වාමීනි, නිවරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දාහු හෝ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද?”-“ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසාකරන ලද්දාහු වෙත්.”
“පුරන ලද්දාහු සමාදන් වන ලද්දාහු හිත පිණිස හෝ පවතිත්ද හිත පිණිස හෝ නොපවතිත්ද? මේ කාරණයෙහි අදහස කෙසේද?”-“පුරනලද්දාහු සමාදන්වන ලද්දාහු හිත පිණිස සැප පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වෙයි.”
“කාලාමයෙනි, මෙසේ කාලාමයෙනි, (මෙහි මේ සූත්‍රයේ 5, 11 ඡෙද යෙදිය යුතුයි.)
“කාලාමයෙනි, මෙසේ පහකළ ලොභය ඇති පහකළ ද්වෙෂය ඇති මුළා නොවූ යහපත් නුවණ ඇත්තාවූ සිහියෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෛත්‍රී සහගත සිතින් (මෙහි වෙනාගපුර වර්ගයේ 3 සූත්‍රයේ 13, 14 ඡෙද යෙදාගතයුතුයි) කරුණා සහගත සිතින් (මෙහි වෙනාගපුර වර්ගයේ 3 සූත්‍රයේ 13, 14 ඡෙද යොදාගත යුතුයි.) උපෙක්ෂා සහගත සිතින් (මෙහි වෙනාගපුර වර්ගයේ 3 සූත්‍රයේ 13, 14 ඡෙද යොදාගත යුතුයි.)
“කාලාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ අවෛර සිත් ඇත්තේ වේද මෙසේ ව්‍යාපාද සිත් ඇත්තේවේද මෙසේ නොකිලුටු සිත් ඇත්තේ වේද මෙසේ පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
“ඉදින් පරලොවක් ඇත්තේ නම් කරන ලද හොඳ නොහොඳ කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ නම්, ‘කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නෙමි’ යන මේ පළමුවැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පරලොවක් නැත්තේ නම් කරන ලද හොඳ නොහොඳ කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ නම්, මේ ආත්මයෙහිම වෛර නැතිව ව්‍යාපාද නැතිව දුක් නැතිව සුවසේ ආත්මය පරිහරණය කරන්නෙමි” යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් වනාහි ‘පව් කරන්නාහට විපාක දෙනු ලැබේ නම් මම වනාහි කිසිවෙකුට වරදක් නොසිතමි. පව් නොකරන්නාවූ මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? නොපැමිණෙන්නේද’ යන මේ තුන්වැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පව් කරන්නාහට විපාක නොදෙනු ලැබේ නම් ‘දැන් මම වනාහි පවෙන්ද විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුවූ තමා දක්නෙමි’ යන මේ සතරවැනිවූ අස්වැසීම ලබන ලද්දේ වෙයි.
“කාලාමයෙනි, මෙසේ වෛර සිත් නැත්තාවූ මෙසේ ව්‍යාපාද සිත් නැත්තාවූ මෙසේ නොකිලිටු සිත් ඇත්තාවූ මෙසේ පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ ආත්මයෙහිම මේ අස්වැසීම් සතර ලබන ලද්දාහු වෙත්යයි වදාළේය.
“භාග්‍යවතුන් වහන්ස, එය එසේමය, සුගතයන් වහන්ස, එය එසේමය, ස්වාමීනි ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ අවෛර සිත් ඇත්තේ වේද, අව්‍යපාද සිත් ඇත්තේ වේද, නොකිලුටු සිත් ඇත්තේ වේද, පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 18 ඡෙදය මෙනි.)
(මේ ඡෙදය මේ සූත්‍රයේ 19 ඡෙදය මෙනි.)
(මේ ඡෙදය මේ සූත්‍රයේ 20 ඡෙදය මෙනි.)
(මේ ඡෙදය මේ සූත්‍රයේ 21 ඡෙදය මෙනි)
“ස්වාමීනි, මෙසේ අවෛර සිත් ඇත්තාවූ අව්‍යාපාද සිත් ඇත්තාවූ නොකිලුටු සිත් ඇත්තාවූ පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ අස්වැසීම් සතර ලබන ලද්දාහු වෙත්.”