අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

85. සෙඛපඤ්හ සූත්‍රය

එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ශෛක්ෂ ශෛක්ෂයයි කියනු ලැබේ. කෙතෙකින් ශෛක්ෂයෙක් වේද?” යනුයි.

“මහණ, හික්මෙයි යන අර්ථයෙන් ශෛක්ෂයයි කියනු ලැබේ. කිමෙක හික්මෙයිද? අධිශීලයෙහිද හික්මෙයි. අධිචිත්තයෙහිද හික්මෙයි, අධිප්‍රඥාවෙහිද හික්මෙයි. මහණ හික්මෙයි හික්මෙයි යන අර්ථයෙන් ශෛක්ෂයයි කියනු ලැබේයයි” වදාළේය.

(1) “ආර්‍ය්‍ය මාර්ගයෙහි පිළිපන්නාවූ ත්‍රි ශික්ෂාවෙහි හික්මෙන්නාවූ ශෛක්ෂයාහට ක්ලෙශයන් ක්ෂය කරන්නාවූ මාර්ගය හා යෙදුණාවූ පළමුවැනි ඥානය උපදී. ඉක්බිති සතරවැනි මාර්ගඥානයට අනතුරුව අර්හත්ඵලය උපදී.”

(2) “ඉක්බිති අර්හත්ඵල විමුක්තියෙන් මිදුණාවූ තාදී ගුණයෙන් යුත් ක්ෂීණාශ්‍රවයාහට භව සංයෝජනයන් ක්ෂය කිරීමෙහි මාගේ අර්හත් ඵල විමුක්තිය කම්පා නොවන්නීය යන ප්‍රත්‍යවෙක්ෂා ඥානයවෙයි.”