අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

86. සික්ඛාත්තය සූත්‍රය

“මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්‍රයෝ යම් ශික්ෂාවෙක්හි හික්මෙද්ද එබඳුවූ එක්සිය පනසක් ශික්ෂාපද අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයිද, මහණෙනි, ඒ සියලු ශික්ෂාපද ඇතුළත් වන්නාවූ මේ ශික්ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂාව අධිචිත්ත ශික්ෂාව අධිප්‍රඥා ශික්ෂාව යන මොහුයි. මහණෙනි, මේ ශික්ෂා තුනෙහි ඒ සියලු ශික්ෂාපද ඇතුළත් වෙයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, ප්‍රඥාව එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙයිද ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගිටින්නේද වෙයි. ඊට හේතු කවරේද?

“මහණෙනි, මෙහි මාර්ගඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ මාර්ග නියාමයෙන් නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූවෙක් වෙයි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)

“මහණෙනි, මේ කාරණයෙහි මාර්ගඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට යොග්‍යවූ මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද හෙතෙම තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනීවූ හෙයින් සකෘදාගාමි නම් වෙයි. මේ කාම ලොකයට එක්වරක්ම අවුත් දුක් කෙළවර කරයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද ප්‍රඥාව ප්‍රමාණයකින් සම්පූර්ණ කරන්නේ වෙයිද හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙත්ද ඒ ශික්ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි, නැගිටින්නේද වෙයි. ඊට හෙතු කවරේද?

“මහණෙනි, මේ කාරණයෙහි මාර්ගඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයි, පිහිටි සිල් ඇත්තේ වෙයි. ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. හෙතෙම ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹලොව ඔපපාතිකයෙක් වෙයි. ඒ බඹලොවින් ආපසු නොඑන ස්වභාවය ඇත්තාවූ එහිම පිරිනිවෙන්නෙක් වෙයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද ප්‍රඥාව සම්පූර්ණ කරන්නේ වෙයිද හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙත්ද ඒ ශික්ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි නැගිටින්නේද වෙයි. ඊට හෙතු කවරේද?

“මහණෙනි, එහි මාර්ගඵල ලැබීමට නුසුදුසු බව නොකියන ලදී. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට යොග්‍යවූ මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද, ඒ ශික්ෂාපදයන්හි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද පිහිටි සිල් ඇත්තේ වෙයිද ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ ඥානයෙන් අවබොධකොට ඊට පැමිණ වාසය කරයි.

“මහණෙනි, මෙසේ වනාහි කොටසක් පුරන්නාවූ පුද්ගලයා කොටසක් ලබයි. සම්පූර්ණකොට පුරන්නාවූ පුද්ගලයා සම්පූර්ණයෙන් ලබයි. මහණෙනි, මම ශික්ෂාපදයෝ මෙසේ වඳ නොවන්නාහුයයි කියමියි” වදාළේය.