අංගුත්තර නිකාය
එක නිපාතය
9. සමණ වර්ගය
87. දුතිය සික්ඛාත්තය සූත්‍රය
“මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්‍රයෝ යම් ශීලයෙක්හි හික්මෙද්ද, අඩමසක් පාසා උදෙසීමට පැමිණෙන්නාවූ මේ ශීලය ශික්ෂාපද එක්සිය පනසක් වෙයි. මහණෙනි, ඒ සියලු ශික්ෂාපද ඇතුළත්වන්නාවූ මේ ශික්ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව යන මොහුය, මහණෙනි, මේ ත්‍රි ශික්ෂාවෙහි ඒ සියලු ශික්ෂා පද ඇතුළත් වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය ප්‍රමාණයකින් පුරන්නේ වෙයිද ප්‍රඥාව ප්‍රමාණයකින් පුරන්නේ වෙයිද හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙත්ද ඒ කුඩා අනුකුඩා ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. නැඟිටින්නේද වෙයි, ඊට හෙතු කවරේද?
“මහණෙනි, මෙහි මාර්ගඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සත්වරක් කාමලොකයෙහි ඉපදීම සීමාකොට ඇති සෝවාන් පුද්ගලයෙක්ව සත්වරක් දෙව් ලොවද මිනිස්ලොවද සැරිසරා දුක් කෙළවර කරන්නේය.
“හෙතෙම සංයෝජන තුනක් ක්ෂයකිරීමෙන් කෝලං කෝල නම් සෝවාන් පුද්ගලයා වෙයි. භව දෙක තුනක සැරිසරා දුක් කෙළවර කරන්නේය.
“හෙතෙම සංයෝජන තුනක් ක්ෂයකිරීමෙන් එකබීජී නම් සෝවාන් පුද්ගලයා වෙයි. මිනිසත් බවක්ම ලබා දුක් කෙළවර කරයි.
“හෙතෙම සංයෝජන තුනක් ක්ෂයකොට රාගදොස මොහයන් තුනී වීමෙන් සකෘදාගාමී වෙයි. එක් වරක්ම මේ කාමලොකයට පැමිණ දුක් කෙළවර කරයි
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද ප්‍රඥාව ප්‍රමාණයකින් පුරන්නේ වෙයිද, හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙත්ද ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. නැඟිටින්නේද වෙයි. ඊට හේතු කවරේද?
“මහණෙනි, එය මාර්ගඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට යොග්‍යවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ශික්ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද හෙතෙම ඔරම්භාගිය සංයොජන පස ක්ෂයකිරීමෙන් උද්ධං සොත අකනිට්ඨගාමී නම් (සුද්ධාවාස භූමියෙහි ඉපිද පිළිවෙළින් අකනිටා බඹලොව දක්වා ගොස් අකනිටා බඹලොවදී පිරිනිවෙන) අනාගාමි පුද්ගලයා වෙයි.
“හෙතෙම ඔරම්භාගිය සංයොජන පස ක්ෂයකිරීමෙන් සසංඛාර පරිනිබ්බායී නම් (උත්සාහයෙන් රහත් බවට පැමිණෙන) අනාගාමි පුද්ගලයා වෙයි. හෙතෙම ඔරම්භාගිය සංයොජන පස ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායි නම් (උත්සාහයක් නැතිව රහත්බවට පැමිණෙන) අනාගාමි පුද්ගලයා වෙයි.
“හෙතෙම ඔරම්භාගිය සංයොජන පස ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායි නම් (අවිහාදියෙහි ඉපිද එහි ආයුෂයෙන් බාගයක් ඉක්මවා රහත්ව පිරිනිවෙන) අනාගාමි පුද්ගලයා වෙයි. හෙතෙම ඔරම්භාගිය සංයොජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නම් (අවිහාදියෙහි ඉපිද ආයුෂ බාගයක් නොයික්මවා රහත්ව පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“(මේ ඡෙදය මේ සූත්‍රයේ 7 ඡෙදය මෙනි)
“මහණෙනි, එහි මාර්ගඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ඒ ශීක්ෂාපද කෙනෙක් වෙද්ද එහි නිත්‍ය සිල් ඇත්තේද වෙයි, පිහිටි සිල් ඇත්තේද වෙයි. ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, අර්හත්ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තමාම විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මෙසේ වනාහි කොටසක් සම්පූර්ණ කරන්නේ කොටසක් ලබයි. සියල්ල සම්පූර්ණ කරන්නේ සියල්ල ලබයි. මහණෙනි, මෙසේ ශික්ෂාපද නොවඳයයි කියමියි වදාළේය.”