අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(12) 2. කෙසී වර්‍ගය

6. අප්පමාද කරණීය සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් අප්‍රමාදය කටයුතුය. කවර සතරකින්ද යත්, මහණෙනි, කාය දුශ්චරිතය හරිව්. කාය සුචරිතය වඩව්. එහිද ප්‍රමාද නොවව්. මහණෙනි, වාග් දුශ්චරිතය අත්හරිව්. වාග් සුචරිතය වඩව්. එහිද ප්‍රමාද නොවව්. මහණෙනි, මනො දුශ්චරිතය හරිව්. මනො සුචරිතය වඩව්. එහිද ප්‍රමාද නොවව්. මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය අත්හරිව්. සම්‍යක් දෘෂ්ටිය වඩව්. එහිද ප්‍රමාද නොවව්.

’’මහණෙනි, යම් තැනක පටන් භික්‍ෂුවගේ කාය දුශ්චරිතය ප්‍රහීන වූයේ වේද, කාය සුචරිතය වැඩුයේ වේද, වාක් දුශ්චරිතය ප්‍රහීන වූයේ වේද, වාක් සුචරිතය වැඩුයේ වේද, මනො දුශ්චරිතය ප්‍රහීන වූයේ වේද, මනො සුචරිතය වැඩුයේ වේද, මිත්‍යාදෘෂ්ටිය ප්‍රහීන වූයේ වේද, සම්‍යක් දෘෂ්ටිය වැඩුයේ වේද, හෙතෙම පරලොව වන මරණයට බිය නොවෙයි.’’