අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(13) 3. භය වර්‍ගය
1. අත්තානුවාද භය සූත්‍රය
’’මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්. ආත්මානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුග්ගති භය යන සතරයි. මහණෙනි, ආත්මානුවාද භය කවරේද?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක්, ’’මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම් ,
’’කිමෙක්ද, ’ඒ මාගේ ආත්මය සීලයෙන් උපවාද නොකරන්නේදැ’ යි මෙසේ කල්පනා කරයි. හෙතෙම තමහට උපවාද පැමිණෙන බියෙන් බියවූයේ, කාය දුශ්චරිතය අත්හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය අත්හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය අත්හැර මනො සුචරිතය වඩයි. තමන් සුවසේ පරිහරණය කරයි. මහණෙනි, මේ ආත්මානුවාද භය යයි කියනු ලැබේ.
’’මහණෙනි, පරානුවාද භය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක්, ’’මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම්, කිමෙක්ද, ඒ මා අන්‍යයන් සීලයෙන් උපවාද නොකරන්නාහුද, හෙතෙම අනුන්ගෙන් පැමිණෙන බියට බිය පත් වූයේ, කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාක් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ පරානුවාද භය යයි කියනු ලැබේ.
’’මහණෙනි, දණ්ඩ භය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් රජවරු අපරාධකාරී හොරු අල්වා ගෙන,
’’කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්‍ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්‍මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්‍මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්‍මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්‍මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්‍මය කරන්නාහුය, පාර්‍ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්‍මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය, මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්.
’’ඕහට යම්බඳු පාප කර්‍මයක හේතුවෙන් අපරාධකාරී සොරෙකු රජවරු ගෙන, නානාප්‍රකාර කම් කටොලු කරවත්ද, කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්‍ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්‍මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්‍මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්‍මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්‍මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්‍මය කරන්නාහුය, පාර්‍ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්‍මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය, මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්. ’මම වනාහි මෙබඳු පාප කර්‍මයක් කරන්නේ නම් රජවරු මැද ගෙන මෙබඳු නානාප්‍රකාර කම්කටොලු කරවන්නාහුය. කසයෙන් තලවන්නාහුය, වේවැලෙන් තලවන්නාහුය, අර්‍ධ දඬුවලින් තලවන්නාහුය, අත් කපන්නාහුය, පා කපන්නාහුය, අත් පා කපන්නාහුය, කණ කපන්නාහුය, නාසය කපන්නාහුය, කන් නාසා කපන්නාහුය, හිස්කබල ගලවා රත් ලෝ ගුලි බහන කර්මය කරන්නාහුය, හිසෙහි සම ගලවා බොරළු දමා අතුල්ලා කරන කර්මය කරන්නාහුය, මුව තුල පහන් දල්වන කර්මය කරන්නාහුය, සිරුරෙහි රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, අතෙහි තෙල් රෙදි ඔතා දල්වා කරණ කර්මය කරන්නාහුය, බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා හම ගසා කඩ දවටා අදින කර්‍මය කරන්නාහුය, වැහැරි වස්ත්‍ර හැන්දාක් මෙන් සම ගලවා එල්ලෙන්ට හැරෙන කර්‍මය කරන්නාහුය, දෙඅත් දෙපා පොලොවෙහි තබා ඇන ගසන කර්‍මය කරන්නාහුය, දෙපැති ඇති බිලියෙන් ගසා මස් කඩන කර්‍මය කරන්නාහුය, කහවණු තරමට මුළු සිරුර කොටන්නවුන්, සිරුර ආයුධවලින් කොටා කාරම් ඉසින කර්‍මය කරන්නාහුය, පාර්‍ශවයක් යටවෙන්ට හොවා කන් සිදුරුවල යකඩ හුල් අනින කර්‍මය කරන්නාහුය, සම ගලවා ඇට කඩා පිදුරු බිස්සක් මෙන් කරණ කර්මය කරන්නාහුය, රත්වූ තෙලින් ඉසින්නාහුය, බල්ලන් ලවා කවන්නාහුය, පන පිටින් උල සිටුවන්නාහුය, කඩුවෙන් හිස කපන්නාහුය,’ මෙයාකාර නානාප්‍රකාර කම් කටොලු කරවන්නවුන් දකිත්. මෙසේ හෙතෙම දඬුවම් බියෙන් බියපත්වූයේ අනුන්ගේ වස්තුව සොරකම් නොකරමින් හැසිරෙයි. මහණෙනි, මේ දණ්ඩ භයයයි කියනු ලැබේ.
’’මහණෙනි, දුර්‍ගති බිය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කාය දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලොවදීය. වාක් දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලෙව්හිය. මනො දුශ්චරිතයාගේ ලාමක විපාකය පරලෙව්හිය. මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, කිමෙක්ද, යම්බඳු මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අය සංඛ්‍යාත සැප නැති, දුර්‍ගතිවූ නපුරුසේ පතිතවන යම් නිරයක උපදින්නේ යයි මෙසේ කල්පනා කරයි.
’’හෙතෙම දුගති බියෙන් බියපත්වූයේ කාය දුශ්චරිතය අත්හැර කාය සුචරිතය වඩයි. වාක් දුශ්චරිතය අත්හැර වාක් සුචරිතයෙහි හැසිරෙයි. මනො දුශ්චරිතය අත්හැර මනො සුචරිතය වඩයි. සැප ආත්මයක් පරිහරණය කරයි. මහණෙනි, මේ දුර්‍ගති බියයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර බියය.’’