අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(13) 3. භය වර්‍ගය

2. ඌමිභය සූත්‍රය

’’මහණෙනි, ජලයට බසින්නා මේ බිය සතරක් කැමතිවිය යුත්තාහ. කවර සතරක්ද යත්: රැලින් වන බිය, කිඹුලන්ගෙන් වන බිය, සුලිවලින් වන බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන සතරයි. මහණෙනි, මේ සතර බිය ජලයට බසින්නා විසින් කැමති විය යුතුයි.

’’මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේද, මේ සතර බිය කැමති විය යුත්තාහ. කවර සතරක්ද යත්, රළ බිය, කිඹුල් බිය, සුළි බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන සතරයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම, ’මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද?

’’එසේ පැවිදිවූ ඔහුට තොප විසින් ඉදිරියට යා යුතුය. මෙසේ තොප විසින් ආපසු ආ යුතුය. මෙසේ තොප විසින් ඉදිරි බැලිය යුතුය. මෙසේ තොප විසින් වට පිට බැලිය යුතුය. මෙසේ තොප විසින් අත් පා හැකිලිය යුතුය. මෙසේ තොප විසින් අත් පා දිගු කළ යුතුය. මෙසේ තොප විසින් පා සඟල සිවුරු දැරිය යුතුය. සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්, අනුශාසනා කරත්. ඔහුට මම වනාහි පෙර ගිහි වූයේම අනුන්ට අවවාද කෙළෙමි. අනුශාසනා කෙළෙමි. මොවුහු වනාහි අප පුත්‍රයන් මෙන් මුනුබුරන් මෙන් අවවාදකොට, අනුශාසනා කටයුතු කොට හඟිත්. හෙතෙම කිපීයේ, නොසතුටු වූයේ ශික්‍ෂා අත්හැර ගිහිවෙයි. මහණෙනි, මේ රළ වේගයට බියෙන් ශික්‍ෂා අත්හැර ගිහිවූයේ යයි කියනු ලැබේ. මහණෙනි, රළ බිය යනු මෙය ක්‍රොධයට නමකි.

’’මහණෙනි, කිඹුල් බිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම, ’මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද?

’’එසේ පැවිදිවූ ඔහුට, ’මෙය තොප විසින් කෑ යුතුය. මෙය තොප විසින් නොකෑ යුතුය. මෙය තොප විසින් අනුභව කළ යුතුය. මෙය තොප විසින් අනුභව නොකළ යුතුය. මෙය තොප විසින් රස වින්ද යුතුය. මෙය තොප විසින් රස නොවින්ද යුතුය. මෙය තොප විසින් පිය යුතුය. මෙය තොප විසින් නොපිය යුතුය. තොප විසින් කැප දේ කෑ යුතුය. අකැප දේ නොකෑ යුතුය. තොප විසින් කැප දේ අනුභව කළ යුතුය. අකැප දේ අනුභව නොකළ යුතුය. තොප විසින් කැප දෙය රස වින්ද යුතුය. අකැප දේ රස නොවින්ද යුතුය. තොප විසින් කැප දේ පිය යුතුය. අකැප දේ නොපිය යුතුය. තොප විසින් කාලයෙහි පිය යුතුය. විකාලයෙහි නොපිය යුතුය. තොප විසින් කාලයෙහි කෑ යුතුය. විකාලයෙහි නොකෑ යුතුය. තොප විසින් කාලයෙහි අනුභව කළ යුතුය. විකාලයෙහි අනුභව නොකළ යුතුය. තොප විසින් කාලයෙහි රස වින්ද යුතුය. විකාලයෙහි රස නොවින්ද යුතුයයි , සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්, අනුශාසනා කරත්.

’’ඔහුට, ’අපි පෙර ගිහිගෙයි සිටියේ යමක් කැමැත්තෙමුද, එය කමු. යමක් නොකැමැත්තෙමුද, එය නොකමු. යමක් කැමැත්තෙමුද, එය අනුභව කරමු. යමක් නොකැමැත්තෙමුද, එය අනුභව නොකරමු. යමක් කැමැත්තෙමු නම්, එය රස විඳිමු. යමක් නොකැමැත්තෙමුද, එය රස නොවිඳිමු. යමක් කැමැත්තෙමුද, එය බොමු. යමක් නොකැමැත්තෙමුද, එය නොබොමු. කැප දේත් කමු. අකැප දේත් කමු. කැප දේත් අනුභව කරමු. අකැප දේත් අනුභව කරමු. කැප දේත් රස විඳිමු. අකැප දේත් රස විඳිමු. කැප දේත් බොමු. අකැප දේත් බොමු. කාලයෙහිත් කමු. අකාලයෙහිත් කමු. කාලයෙහිත් අනුභව කරමු. විකාලයෙහිත් අනුභව කරමු. කාලයෙහිත් රස විඳිමු. විකාලයෙහිත් රස විඳිමු. කාලයෙහිත් බොමු. විකාලයෙහිත් බොමු. ශ්‍රද්‍ධාවත් ගෘහපතිවරු යමක් අපට දවල් හෝ විකාලයෙහි හෝ ප්‍රණීත කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ දෙත්ද, එහිද අපගේ මුව ආවරණය කිරීමක් හෝ මෙන් කරත්ය’ යි හෙතෙම කිපියේ, නොසතුටුවූයේ, ශික්‍ෂා අත්හැර ගිහි වෙයි.

’’මහණෙනි, මේ මහණතෙම කිඹුල් විසට බියවූයේ, ශික්‍ෂා අත්හැර ගිහිවූයේ වේ. මහණෙනි, කිඹුල් බිය යනු මහත් බඩක් ඇති බවට නමකි. මහණෙනි, මේ කිඹුල් බිය යයි කියනු ලැබේ.

’’මහණෙනි, සුලි බිය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම, ’මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද?

’’එසේ පැවිදිවූ ඔහු පූර්‍වාහ්න වේලාවෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, ගමකට හෝ නියම් ගමකට හෝ නොරකින ලද කයින්, නොරකින ලද වචනයෙන්, නොරකින ලද සිතින්, එළඹ නොසිටි සිහියෙන්, නොසංවර ඉන්‍ද්‍රියයන්ගෙන් පිඬු පිණිස හැසිරෙයි.

’’හෙතෙම එහිදී පස්කම් ගුණයෙන් පිරී යුක්තව හැසිරෙන ගෘහපතියකු හෝ ගෘහපති පුත්‍රයකු හෝ දකියි. ඔහුට, ’මම වනාහි අපි පෙර අගාරිය වූයේම පස්කම් ගුණයෙන් පිරී යුක්තව වාසය කෙළෙමු. මගේ ගෘහයෙහි භොගයෝ විදෘමාන වෙත්. භොගයන් අනුභව කරන්ටද, පින් කරන්ටද, හැකි යයි සිතයි. මම ශික්‍ෂා අත්හැර ගිහිවී වස්තුවද අනුභව කරන්නෙම් නම් පින්ද කරන්නෙම් නම් යෙහෙකැ’ යි සිතා හෙතෙම ශික්‍ෂා අත්හැර ගිහි වූයේය. මහණෙනි, මේ මහණ තෙම සුළි බියට බිය වූයේ ශික්‍ෂා අත්හැර ගිහි වූයේය. මහණෙනි, ආවට්ට භය යනු පස්කම් ගුණයන්ට නමකි. මහණෙනි, මෙය සුළි බිය යයි කියනු ලැබේ.

’’මහණෙනි, සැඩ මසුන්ගේ බිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම, ’මම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් බැසගත්තේ වෙමි. දුකට බැසගත්තෙමි. දුකින් පීඩා උනෙමි. මේ මුළු දුක් ගොඩ අවසන් කිරීමක් පෙනෙන්නේ නම් යෙහෙකැයි අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද? එසේ පැවිදිවූ ඔහු පූර්‍වාහ්න වේලාවෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, ගමකට හෝ නියම් ගමකට හෝ නොරකින ලද කයින්, නොරකින ලද වචනයෙන්, නොරකින ලද සිතින්, එළඹ නොසිටි සිහියෙන්, නොසංවර ඉන්‍ද්‍රියයන්ගෙන් පිඬු පිණිස හැසිරෙයි.

’’හෙතෙම එහිදී නපුරුකොට හැඳි, නපුරුකොට පෙරවි ස්ත්‍රියක් දකී. නපුරුකොට හැන්ඳ, නපුරුකොට පෙරවි ස්ත්‍රිය දැක. ඔහුගේ සිත රාගය යටපත් කරයි. හෙතෙම රාගයෙන් යටකොට ගත් සිතින්, ශික්‍ෂා අත්හැර ගිහි වෙයි. මහණෙනි, මේ මහණ තෙම සැඩමසුන්ගේ බියට පැමිණියේ, ශික්‍ෂා අත්හැර ගිහිවූයේ යයි කියනු ලැබේ. මහණෙනි, සුසුකාබිය යනු ස්ත්‍රියට නමකි. මහණෙනි, මේ සැඩමසුන්ගේ බියයයි කියනු ලැබේ.

’’මහණෙනි, මේ බිය සතර ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදිවන ඇතැම් කුල පුත්‍රයෙකු විසින් කැමතිවිය යුත්තාහ.