අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(13) 3. භය වර්‍ගය

10. චක්කවත්ති අබ්භූත සූත්‍රය

’’මහණෙනි, චක්‍රවර්ති රජු කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් වෙත්. කවර සතර කෙනෙක්ද යත්?

’’මහණෙනි, ඉදින් ක්‍ෂත්‍රිය පිරිස චක්‍රවර්ති රජු දකින්ට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටු වේ. එහි ඉදින් චක්‍රවර්ති රජ කථා කරයිද, කථාවෙන්ද ඒ පිරිස සතුටුවේ. මහණෙනි, ක්‍ෂත්‍රිය පිරිස අතෘප්ත වේ. ඉක්බිති චක්‍රවර්ති රජ තූෂ්ණීම්භූත වෙයි.

’’මහණෙනි, ඉදින් බ්‍රාහ්මණ පිරිසක් චක්‍රවර්ති රජු දකින්ට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටුවූයේද, එහිදී චක්‍රවර්ති රජ කථා කරයිද, කථාවෙන්ද ඒ පිරිස සතුටුවේ. මහණෙනි, බ්‍රාහ්මණ පිරිස අතෘප්ත වේ. ඉක්බිති චක්‍රවර්ති රජ තූෂ්ණීම්භූත වේ.

’’මහණෙනි, ඉදින් ගෘහපති පිරිසක් චක්‍රවර්ති රජු දකින්නට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටු වේ. ඉදින් එහිදී සක්විති රජ කථා කරයිද, කථාවෙන් ඒ පිරිස සතුටු වූයේ වේ. මහණෙනි, ගෘහපති පිරිස අතෘප්ත වේ. ඉක්බිති සක්විති රජ තූෂ්ණීම්භූත වේ..

’’මහණෙනි, ඉදින් ශ්‍රමණ පිරිසක් සක්විති රජු දකින්ට පැමිණේද, දැකීමෙන් ඒ පිරිස සතුටු වේ. ඉදින් එහිදී සක්විති රජ කථා කරයිද, කථාවෙන් ඒ පිරිස සතුටු වූයේ වේ. මහණෙනි, ශ්‍රමණ පිරිස අතෘප්ත වේ. නැවත සක්විති රජ තූෂ්ණීම්භූත වේ..

’’මහණෙනි, සක්විති රජු කෙරෙහි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත කරුණු සතරය.

’’මහණෙනි, එසේම සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ආනන්‍ද ස්ථවිරයන් කෙරෙහි ඇතිවේ. කවර සතරක්ද යත්. මහණෙනි, ඉදින් භික්‍ෂු පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්ට පැමිණේද, දැකීමෙන් සතුටුවෙයි. ඔවුන්ට එහිදී ආනන්‍ද ධර්‍ම දේශනා කරයි. වදාළ කල්හිද ඒ පිරිස සතුටුවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂු පිරිස තෘප්තනුවූවාහුම වෙත්. ඉක්බිති ආනන්‍ද තූෂ්ණීම්භූත වේ.

’’මහණෙනි, ඉදින් භික්‍ෂුණී පිරිසක් අනඳ බලන්ට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී අනඳ බණ වදාරයිද, දෙසූ කල්හිද සතුටුවේද, මහණෙනි, භික්‍ෂුණී පිරිස අතෘප්ත වේද, නැවත ඇනන්‍ද තූෂ්ණීම්භූත වේද,

’’ඉදින් මහණෙනි, උපාසක පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්නට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී ආනන්‍ද ධර්‍ම දේශනා කරයිද, වදාළ කල්හිද ඒ පිරිස සතුටු වෙත්ද, මහණෙනි, උපාසක පිරිස අතෘප්තවූයේ වේද, නැවත ආනන්‍ද තෙමේ තූෂ්ණීම්භූත වේද,

’’මහණෙනි, ඉදින් උපාසිකා පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්නට පැමිණෙත්ද, දැකීමෙන් ඒ පිරිස සතුටුවූවා වේද, ඉදින් එහි ආනන්‍ද ස්ථවිරයන් බණ වදාරයි. ඒ පිරිස කීමෙන් සතුටුවෙයි. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්ත වූයේම වේ. ඉක්බිති ආනන්‍ද ස්ථවිරයන් තූෂ්ණීම්භූත වේ.

’’මහණෙනි, මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ආනන්‍ද ස්ථවිරයන් කෙරෙහි වේ.’’

දහතුන්වෙනි භය වර්‍ගය නිමි.