අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(17) 2. පටිපදා වර්‍ගය
9. සසංඛාර සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙලොවම සසංකාර පරිනිබ්බායී වේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශරීරයාගේ බිඳීමෙන් සසංඛාර පරිනිබ්බායී වේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙලොවම අසංඛාර පරිනිබ්බායී වේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශරීරයාගේ බිඳීමෙන් අසංඛාර පරිනිබ්බායී වේ.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම මෙලොවම සසංඛාර පරිබිබ්බායී වේද?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශරීරයෙහි අශුභය අනුව බලන සුළුව, ආහාරයෙහි පිළිකුල් හැඟීම ඇතිව, සියලු ලෝකයෙහි නොඇලුනු හැඟීම ඇතිව, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වෙසෙයි. ඔහුගේ අභ්‍යන්තරයෙහි මරණ සිහිය එළඹ සිටියා වෙයි. හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා බල සංඛ්‍යාත මේ පඤ්චවිධ ශෛක්‍ෂ බලයන් ඇසුරුකොට වාසය කරයි.
’’ඔහුට ශ්‍රද්‍ධා, වීර්‍ය්‍ය, ස්මෘති, සමාධි, ප්‍රඥා ඉන්‍ද්‍රිය නම් මේ පඤ්චවිධ ඉන්‍ද්‍රියයන් අධිකව පහළවෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධිකත්‍වයෙන් මෙලොවම සසංඛාර පරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම මෙලොවම සසංඛාර පරිනිබ්බායී වේ.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම කරජකායයාගේ බිඳීමෙන් සසංඛාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශරීරයෙහි අශුභය අනුව බලන සුළුව, ආහාරයෙහි පිළිකුල් හැඟීම ඇතිව, සියලු ලෝකයෙහි නොඇලුනු හැඟීම ඇතිව, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වෙසෙයි. ඔහුගේ අභ්‍යන්තරයෙහි මරණ සිහිය එළඹ සිටියා වෙයි. හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා බල සංඛ්‍යාත මේ පඤ්චවිධ ශෛක්‍ෂ බලයන් ඇසුරුකොට වාසය කරයි.
’’ඔහුට සද්‍ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා ඉන්‍ද්‍රිය නම් මේ පඤ්චෙන්‍ද්‍රියයන් මෘදුව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ශරීරයාගේ බිඳීමෙන් සසංඛාර පරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම කායයාගේ බිඳීමෙන් සසංඛාර පරිනිබ්බායී වේ.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම මෙලොවම අසංඛාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා බල සංඛ්‍යාත මේ ශෛක්‍ෂ බල පස ඇසුරු කොට වාසය කරයි.
’’ඕහට සද්‍ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා නම් මේ ඉන්‍ද්‍රියයන් පස අධිකව පහළවෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ අධික බැවින් මෙලොවෙහිම අසංඛාර පරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම මෙලොවම අසංඛාර පරිනිබ්බායී වේ.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශරීරයාගේ බිඳීමෙන් අසංඛාර පරිනිබ්බායී වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකට පහළවන, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේද, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සැපය කයින් විඳියි. ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහාරීයයි යමක් කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය ප්‍රහාණයෙන්ද, දුක ප්‍රහාණයෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනා නොපෙනී යාමට පූර්‍වයෙහිම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
’’හෙතෙම සද්‍ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා බල සංඛ්‍යාත මේ පඤ්චවිධ ශෛක්‍ෂ බලයන් ඇසුරුකොට වසයි. ඔහුට සද්‍ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා නම් මේ පඤ්චෙන්‍ද්‍රියයන් මෘදුව පහළ වෙත්. හෙතෙම මේ පඤ්චෙන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් කායයාගේ බිඳීමෙන් අසංඛාර පරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම කායයාගේ බිඳීමෙන් අසංඛාර පරිනිබ්බායී වේ. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්’’ යයි වදාළ සේක.