අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(21) 1. සප්පුරිස වර්‍ගය

9. පඨම පාපධම්ම සූත්‍රය

’’මහණෙනි, තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි.

’’එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?

’’සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, මිත්‍යා දෘෂ්ටි ඇත්තේ වේද,

’’මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, පාප ස්වභාවයෙනුත් අතිශයින් පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,

’’මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාගෙන් අතිශයින් පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, යහපත් ස්වභාව ඇති පුද්ගලයා කවරේද?

’’ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සම්‍යක් දෘෂ්ටික වේද,

’’මේ යහපත් ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ස්වභාවය ඇති පුද්ගලයා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාද සම්‍යක් දෘෂ්ටික වේද, අනුන්ද සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද.

’’මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ි පුද්ගලයායයි කියනු ලැබේ.’’