අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(25) 5. ආපත්ති භය වර්‍ගය
3. සික්ඛානිසංස සූත්‍රය
’’මහණෙනි, ශික්‍ෂාව ආනිශංසකොට ඇති, ප්‍රඥාව අධිකකොට ඇති, විමුක්තිය හරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසයි. මහණෙනි, කෙසේ ශික්ඛානිසංසය වේද?
’’මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වඩා පැහැදීම පිණිස, වත් පිළිවෙත් වශයෙන් ශික්‍ෂාවක් පනවන ලද්දේද, ’’මහණෙනි, මා විසින් යම් යම් පරිද්දෙකින් නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස, ශ්‍රාවක ආභිසමාචාරික ශික්‍ෂාවක් පනවන ලද්දේද,
’’එසේ හෙතම ඒ ශික්‍ෂාව කඩ නොකරන්නේ වේ. නොසිදුරු කරන්නේ වේ. පුල්ලි නොගසන්නේය. කිලුටු නොකරන්නේය. ශික්‍ෂා පදයන් ගෙන හික්මෙයි.
’’මහණෙනි, නැවතද, මා විසින් ශ්‍රාවකයන්ට සර්‍වප්‍රකාරයෙන් මනාව දුක් කෙළවර කිරීමට, මාර්‍ග බ්‍රහ්මචරියට ආදීවූ සිවු පිරිසිදු ශීලයක් පනවන ලද්දේද,
’’මහණෙනි, යම් යම් ප්‍රකාරයකින් ශ්‍රාවකයන්ට මනාව දුක් කෙළවර කිරීමට ශික්‍ෂාවක් දේශනා කළේද, එසේ හෙතම ඒ ශික්‍ෂාව කඩ නොකරන්නේ වේ. නොසිදුරු කරන්නේ වේ. පුල්ලි නොගසන්නේය. කිලුටු නොකරන්නේය. ශික්‍ෂා පදයන් ගෙන හික්මෙයි. මහණෙනි, මෙසේ ශික්‍ෂානිසංසය වේ.
’’මහණෙනි, කෙසේ වනාහි පඤ්ඤුත්තර වේද, මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට සර්‍වප්‍රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරිමට ධර්ම දේශනා කරණ ලද්දේද,
’’මහණෙනි, මා විසින් යම් යම් පරිද්දෙකින් සර්‍ව ප්‍රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරීමට ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන ලද්දේද, ඒ ඒ ප්‍රකාරයෙන් ඒ ධර්මයෝ ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ වේ. මහණෙනි, මෙසේ වනාහි පඤ්ඤුත්තර වේ. කෙසේ වනාහි අර්හත් ඤාණ විමුක්තිය සාරයකොට ඇත්තේද,
’’මහණෙනි, කෙසේ වනාහි පඤ්ඤුත්තර වේද, මහණෙනි, මා විසින් මේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට සර්‍වප්‍රකාරයෙන් මනාකොට දුක් කෙළවර කිරිමට ධර්ම දේශනා කරණ ලද්දේද,
’’ඒ ඒ පරිද්දෙන් ඔහු විසින් ඒ ධර්මයෝ අර්හත් ඥාණ විමුක්තියෙන් ස්පර්‍ශ කරණ ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ වනාහි විමුක්තිය සාරයකොට ඇත්තාහ.
’’මහණෙනි, කෙසේ වනාහි සිහිය අධිපතිකොට ඇත්තේ වේද? ’මෙසේ සම්පූර්‍ණ නොවු හෝ වත් පිළිවෙත් ශික්‍ෂා සම්පූර්‍ණ කරන්නෙමි. පිරිපුන් වත් පිළිවෙත් ශික්‍ෂාව ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
’’මෙසේ සම්පූර්‍ණ නොවූ සිවු පිරිසිදු සිල් සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණවූ හෝ සිවු පිරිසිදු ශීලය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
’’මෙසේ නොදක්නා ලද ධර්මය ප්‍රඥාවෙන් බලන්නෙමි. දුටු ධර්මය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහි සිහිය එළඹ සිටියේ වේ.
’’මෙසේ ස්පර්‍ශ නොකරණ ලද ධර්මය අර්හත් ඵල විමුක්තියෙන් බලන්නෙමි. දක්නා ලද ධර්මය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙමියි අධ්‍යාත්මයෙහිම සිහිය එළඹ සිටියේ වෙයි.
’’මහණෙනි, මෙසේ වනාහි සිහිය අධිපතිවූයේ වේ. මහණෙනි, ප්‍රඥාව ශ්‍රෙෂ්ඨකොට ඇති, විමුක්තිය සාරයකොට ඇති, සිහිය අධිපතිකොට ඇති මේ බ්‍රහ්මචර්‍ය්‍යය ශික්‍ෂාව අනුසස්කොට ඇත්තේයයි යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.’’