අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. රොහිතස්ස වර්‍ගය
7. සුවිදුරවිදුර සූත්‍රය
’’මහණෙනි, ඉතා දුරවූ මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, අහසද, පොළොවද යන මෙය පළමුවෙනි ඉතා දුරවූ කරුණය. සමුද්‍රයේ එතෙරද, මෙතෙරද යන මෙය දෙවෙනි ඉතා දුරවූ කරුණය, මහණෙනි, යම් තැනකින් සූර්‍ය්‍යයා පහළවේද, යම් තැනක අස්තඞ්ගම වේද, මේ තුන්වෙනි ඉතා දුරවූ කරුණයි. මහණෙනි, සත්පුරුෂ ධර්‍මයද, අසත්පුරුෂ ධර්‍මයද යන මෙය සතරවන ඉතා දුරවූ කරුණයි. මහණෙනි, මේ සතර දුරවූවෝ වෙති.’’
’’අහසද දුරෙහිය. පොළොවද දුරෙහිය. සමුද්‍රයෙන් එතෙරද දුරය. යම් තැනකින් ආලෝකය ගෙන දෙන සූර්‍ය්‍යා උදාවේද, යම් තැනක අස්ත වේද, එමෙන් සත්පුරුෂ ධර්‍මයද, අසත්පුරුෂ ධර්‍මයද ඒකාන්තයෙන් ඊටක් වඩා අතිශයින් දුරයයි කියත්. සත්පුරුෂයන්ගේ සමාගමය වෙනස් නොවන ස්වභාව ඇත්තේය. යම්තාක් කල් පවතී නම්, ඒ තාක් එසේම වේ. අසත්පුරුෂයන්ගේ සමාගමය වහා වෙනස් වේ. එසේ හෙයින් අසත්පුරුෂ සමාගමයෙන් සත්පුරුෂයන්ගේ ධර්මය ඈත්ව සිටියේය.’’