අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. රොහිතස්ස වර්‍ගය
6. දුතිය රොහිතස්ස සූත්‍රය
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පසු භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’මහණෙනි, මේ රාත්‍රියෙහි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි හොබනා ශරීර වර්‍ණ ඇතිව. මුළු ජේතවනය ආලෝක කොට, මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පසෙක සිටියේය.
’’එකත්පසෙක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ’ස්වාමීනි, යම් තැනෙක වනාහි නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, පහළ නොවේද. ස්වාමීනි, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් දැන ගැනීමට හෝ දැකීමට හෝ පැමිණීමට හෝ හැක්කේදැ?’ යි ඇසීය. මෙසේ ඇසූ කල්හි, මහණෙනි, මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ’ඇවැත්නි, යම් තැනෙක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයෙහි ඒ කෙළවර දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ මම නොකියමි.’
’’මහණෙනි, මෙසේ කී කල්හි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින්, ’ඇවැත්නි, යම් තැනෙක්හි වනාහි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ඒ ලෝකයෙහි ඒ කෙළවර ගමනින් දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ නොවදාරමි’ යි වදාරන ලද්ද, යහපත්කොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයි. ස්වාමීනි, අද්භූතයකියි කීයේය.
’ස්වාමීනි, පෙරවූ දෙයක් නම් මම ඉර්ධි ඇති, අහසින් යන වැදි පුත්‍රවූ, රොහිතස්ස නම් ඎෂිවරයෙක් වීමි. ස්වාමීනි, ඒ මට මෙබඳු ජවයක් විය. හික්මුනාවූ, අත්දැකීම් ඇති, සිල්ප දක්වා, පළපුරුදු දුනු දරණ, දුනු ආචාර්‍ය්‍යයෙක් යම් සේ සීඝ්‍ර ඊතලයෙන් නිදුකින් තල් ගසක සෙවනක් සරසට ඉක්ම වන්නේද, ඒ යම් සේ පෙරදිග මුහුදින් බටහිර මුහුද යම් සේ ඉක්මවන්නේද, මෙබඳු ගමන් වේගයක් වූයේය. ස්වාමීනි, මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් වේගයකින් යුත්, ඒ මට මම පා ගමනින් ලොකයෙහි කෙළවරට පැමිණෙන්නෙමි යන මෙබඳු අදහසක් පහළ විය. ස්වාමීනි, ඒ මම අනුභව කිරීම්, පානය කිරීම්, කෑම් රස විඳීම් හැර, මළ මූත්‍ර කිරීම් හැර, නිදීම්, ක්ලාන්ත සංසිඳුවීම් හැර, වර්‍ෂ සියයක් ඉතිරිවූ ආයුෂ ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලෝකයාගේ කෙළවරට නොපැමිණම, අතරෙහි කළුරිය කෙළෙමි.
’ඇවැත්නි, යම් තැනක පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද නොකියමි’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ වචනය මනාකොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, එය ආශ්චර්‍ය්‍යයි. අද්භූතයි’’ කීයේය.
’’මහණෙනි, මෙසේ කී කල්හි මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ’ඇවැත්නි, යම් තැනෙක්හි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමණින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද, නොකියමි’ යි කීවෙමි. ඇවැත්නි මම ලෝකයෙහි කෙළවරට නොපැමිණ, දුක්ඛයාගේ කෙළවර කිරීම නොකියමි. ඇවැත්නි, මම නැවතද, සංඥාව සහිතවූ, සිත සහිතවූ, බඹයක් පමණවූ, මේ ශරීරයෙහි, ලෝකය හෙවත් දුක්ඛ සත්‍යයද පනවමි. සමුදය හෙවත් දුකට හේතුවද පනවමි. දුක්ඛ නිරෝධය හෙවත් නිවන පනවමි. දුක්ඛ නිරෝධයට යන ප්‍රතිපදාව පනවමි.
’’ගමනින් ලොකයෙහි කෙළවරට කිසිකලෙක නොපැමිණිය හැක. ලොකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදමක්ද නැත්තේය. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, ලෝකය දත්, ඤාණවන්ත, පම් සමනය කළ පුද්ගලයා ලොකයෙහි කෙළවර දැක, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙයි.’’