අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය

6. සමජීව සූත්‍රය

’’මහණෙනි, අඹු සැමි දෙදෙන මෙලොව ඔවුන් දක්නටද, පරලොව ඔවුනොවුන් දක්නටද, කැමැත්තහු නම් දෙදෙනම සමාන ශ්‍රද්‍ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇත්තෝ වන්නාහුය. ඔවුහු මෙලොවද ඔවුනොවුන් දකිත්. පරලොවද ඔවුනොවුන් දකිත්’’ යයි වදාළ සේක.

’’අඹු සැමි දෙදෙන ශ්‍රද්‍ධාවන්තද, යාචක ජනයාගේ වචන දන්නාහුද, සංයමද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුහු ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහු වෙත්ද, ඔවුන්ගේ වස්තූහු බොහෝ වෙත්. පහසුව පිණිස පවතී. සමාන ස්වභාව ඇති දෙදෙනාගේ අමිත්‍රයෝ දුර්මුඛ වෙත්. සමාන සීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර කැමති දෙයින් කැමති වෙමින් සතුටු වන්නාහු දෙව්ලොවදීත් සතුටුවෙත්.’’