අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය

7. සුප්පවාස සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සජ්ජනෙල නම් කොලියයන්ගේ නියම්ගම යම් තැනෙක්හිද, ඒ කොලිය ජනපදයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සුප්පවාස නම් කොලිය දුවගේ වාසස්ථානය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.

’’ඉක්බිති සුප්පවාසා නම් කොලිය දුව ප්‍රණීත කෑයුතු දෙයින්, බුදිය යුතු දෙයින්, සිය අතින් සන්තර්පණය කළාය. පැවරුවාය. ඉක්බිති සුප්පවාසා නම් කොලිය දුව, වැළÍ පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේගේ එකත්පසෙක හිඳගත්තාය.

’’එකත්පසෙක හුන් සුප්පවාසා නම් කොලිය දුවට භාග්‍යවතුන් වහන්සේ, ’’සුප්පවාසාවෙනි, භොජනය දෙන ආර්‍ය්‍ය ශ්‍රාවිකාව ප්‍රතිග්‍රාහකයන්ට සතර කරුණක් දෙයි. කවර සතරක්ද යත්, ආයුෂ දෙයි. වර්‍ණය දෙයි. සැප දෙයි. බලය දෙයි. ආයුෂ දී දෙවියන් අතර හෝ මනුෂ්‍යයන් අතර ආයුෂට කොටස් කාරයෙක් වේ. වර්‍ණය දී දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් වර්‍ණයට කොටස් කාරයෙක් වේ. සැපදී දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් සැපයට කොටස් කාරයෙක් වේ. බලය දී දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් බලයට කොටස් කාරයෙක් වේ. සුප්පවාසාවෙනි, භෝජනය දෙන ආර්‍ය්‍ය ශ්‍රවකයා ප්‍රතිග්‍රාහකයන්ට මේ කරුණු සතර දේය’’ යි වදාළ සේක.

’’පිරිසිදුවූ, ප්‍රණීතවූ, රසයෙන් යුක්තවූ, මනාව සකස්කල භෝජනය යම් තැනැත්තියක් දෙයිද, චරණ ධර්‍මවලින් මහත්‍වයට පැමිණී ඎජුව ගියවුන් කෙරෙහි ඒ දක්‍ෂිණාව දුන්නේද, පිනෙන් පින සම්බන්‍ධවෙමින් ලොකවිදූහු විසින් මහත්ඵලකොට වර්‍ණනා කරණ ලදී. මෙබඳු දානය සිහි කරමින් යම්කිසි කෙනෙක් සතුටු සිතින් ලෝකයෙහි හැසිරෙත්ද, මුල් සහිත මසුරුමල සංසිඳුවා නින්‍දා නොවූවාහු ස්වර්‍ගස්ඵානයට පැමිණෙත්.’’