අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. මචල වර්‍ගය

3. අවණ්ණභණන සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?

’’නොදැන, පරීක්‍ෂා නොකොට නුගුණ කිව යුත්තාගේ ගුණ කියයි. නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ කිව යුත්තාගේ අගුණ කියයි. නොදැන, පරීක්‍ෂා නොකොට අප්‍රසාදය පහළ කළ යුතු තැන ප්‍රසාදය පහළ කරයි. නොදැන, පරීක්‍ෂා නොකොට ප්‍රසාදය පහළ කළ යුතු තැන අප්‍රසාදය පහළ කරයි. මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.’’

’’මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්? දැන පරීක්‍ෂා කොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි. දැන පරීක්‍ෂා කොට ගුණ කිව යුත්තාගේ ගුණ කියයි. දැන පරීක්‍ෂා කොට නොපැහැදිය යුතු තැන නොපහදියි. දැන පරීක්‍ෂා කොට පැහැදිය යුතු තැන පහදියි. මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.’’