අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. මචල වර්‍ගය

5. තමොතම පරායන සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

’’අඳුරින් අඳුරට යන පුද්ගලයාය, අඳුරින් එලියට යන පුද්ගලයාය, එලියෙන් අඳුරට යන පුද්ගලයාය, එලියෙන් එලියට යන පුද්ගලයාය යන සතර දෙනයි. මහණෙනි, පුද්ගල තෙම කෙසේ අන්‍ධකාරයෙන් අන්‍ධකාරයට යන්නේ වේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැඩොල් කුලයෙහි හෝ, කුළුපොතු කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, සොම්මර කුලයෙහි හෝ, පුස්සඩු කුලයෙහි හෝ උපන්නේ වේද, යම් තැනක දුකින් කෑම ඇඳීම ලැබේද, දිළිඳුවූ, අල්පවූ, ආහාර, පාන, භෝජන ඇති දුකින් ජීවිකා වෘත්තිය කරණ යථොක්ත නීච කුලයක උපන්නේ වේද, හෙතෙමේද දුර්‍වර්‍ණද, අවලක්‍ෂණද, මිටිද, රෝගීද, කණද, අත් කොරද, පා කොරද, කුදුද, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, ගඳ, විලවුන්, අසුන්, වාසස්ථාන, පහන් නොලැබෙන්නේ වේද?’’

’’හෙතෙම කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි. සිතින් දුශ්චරිත සිතයි. කයින් දුශ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර, සිතින් දුශ්වරිතයෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අය සංඛ්‍යාත සැපයෙන් පහවූ, දුර්‍ගතිවූ, විවසව පතිතවන නරකයෙහි උපදී.

’’මහණෙනි, පුද්ගල තෙම මෙසේ වනාහි අඳුරෙහි වේ. අඳුර පිහිටකොට ඇත්තේ වේ.

’’මහණෙනි, පුද්ගල තෙම කෙසේ නම් අඳුරෙහි වේද, ආලෝකයට යන්නේ වේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැඩොල් කුලයෙහි හෝ, කුළුපොතු කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, සොම්මර කුලයෙහි හෝ, පුස්සඩු කුලයෙහි හෝ උපන්නේ වේද, යම් තැනක දුකින් කෑම ඇඳීම ලැබේද, දිළිඳුවූ, අල්පවූ, ආහාර, පාන, භෝජන ඇති දුකින් ජීවිකා වෘත්තිය කරණ යථොක්ත නීච කුලයක උපන්නේ වේද, හෙතෙමේද දුර්‍වර්‍ණද, අවලක්‍ෂණද, මිටිද, රෝගීද, කණද, අත් කොරද, පා කොරද, කුදුද, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, ගඳ, විලවුන්, අසුන්, වාසස්ථාන, පහන් නොලැබෙන්නේ වේද?’’

’’හෙතෙම කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, හෙතෙම කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්‍ග ලෝකයෙහි උපදී.’’

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම අඳුරෙහි වේ. ආලෝකයට යන්නේ වේ.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ආලෝකයෙහි වේද, අඳුරට යන්නේ වේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආඨ්‍යවූ මහත් ධන ඇති, මහත් භෝග ඇති, බොහෝ රන් රුවන්, බොහෝ වස්තු උපකරණ, බොහෝ ධන ධාන්‍ය ඇති, ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි හෝ ගෘහපති කුලයෙහි හෝ උසස් කුලයක උපන්නේ වේ. හෙතෙමේද ලක්‍ෂණද, දර්‍ශනීයද, ප්‍රසාද එලවන්නේද, උතුම් පැහැයෙන් යුක්තද, ආහාරපාන, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, අසුන්, ගෙවල්, පහන් ලබන්නේ වේද?’’

’’හෙතෙම කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි. සිතින් දුශ්චරිත සිතයි. කයින් දුශ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර, සිතින් දුශ්වරිතයෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අය සංඛ්‍යාත සැපයෙන් පහවූ, දුර්‍ගතිවූ, විවසව පතිතවන නරකයෙහි උපදී.

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම එලියෙහි වේ. අඳුරට යන්නේ වේ.

’’මහණෙනි, පුද්ගල තෙම කෙසේ එලියෙහි වේද, ආලෝකයට යන්නේ වේද?’’

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආඨ්‍යවූ මහත් ධන ඇති, මහත් භෝග ඇති, බොහෝ රන් රුවන්, බොහෝ වස්තු උපකරණ, බොහෝ ධන ධාන්‍ය ඇති, ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි හෝ ගෘහපති කුලයෙහි හෝ උසස් කුලයක උපන්නේ වේ. හෙතෙමේද ලක්‍ෂණද, දර්‍ශනීයද, ප්‍රසාද එලවන්නේද, උතුම් පැහැයෙන් යුක්තද, ආහාරපාන, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, අසුන්, ගෙවල්, පහන් ලබන්නේ වේද?’’

’’හෙතෙම කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. කයින් සුචරිතයෙහි හැසිර. වචනයෙන් සුචරිතයෙහි හැසිර. සිතින් සුචරිතයෙහි හැසිර, කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.’’

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ආලෝකයෙහි වේ. ආලෝකයට යන්නේ වේ. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’