අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(15) 5. තිකණ්ටකී වර්‍ගය

9. පඨම සමය විමුත්ත සූත්‍රය

’’මහණෙනි, ලෞකික වශයෙන් මිදුනු සිත් ඇති භික්‍ෂූහුගේ පිරිහීම පිණිස මේ කරුණු පසක් පවතිත්.

’’කවර පසක්ද යත්? කර්‍මාන්තයෙහි ඇළුණු බවය, කථාබස් කිරීමෙහි ඇළුණු බවය, නිද්‍රාවෙහි ඇළුණු බවය, සමූහයා හා එක්වීමෙහි ඇළුණු බවය, මිදුනු පරිදි සිත නොසැළකීමය යන පසයි.

’’මහණෙනි, ලෞකික වශයෙන් මිදුනු සිත් ඇති භික්‍ෂූහුගේ පිරිහීම පිණිස මේ කරුණු පසක් පවතිත්.

’’මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්‍ෂූහුගේ නොපිරිහීම පිණිස පවතිත්.

’’ කවර පසක්ද යත්? කර්‍මාන්තයන්හි නොඇලෙන බවය, කථාබස් කිරීමෙහි නොඇලෙන බවය, නිද්‍රාවෙහි නොඇලෙන බවය, සමූහයා හා එක්වීමෙහි නොඇලෙන බවය, මිදුනු පරිදි සිත සොයා බැලීමය යන පසයි.’’

’’මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්‍ෂූහුගේ නොපිරිහීම පිණිස පවතිත්.