අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(16) 1. සද්‍ධම්ම වර්‍ගය
1. අනෙකග්ග චිත්ත සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්‍ධර්‍මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
’’කවර පසකින්ද යත්, ධර්ම කථාවට පරිභව කෙරේද, කථිකයාට පරිභව කෙරේද, තමාට පරිභව කෙරේද, වික්‍ෂිප්ත සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ නොවූ සිත් ඇත්තේ නුනුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්‍ධර්‍මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
’’කවර පසකින්ද යත්? කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, වික්‍ෂිප්ත නොවූ සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.