අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

6. අකුසල සමාපත්ති සූත්‍රය

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.

’’කවර පසකින්ද යත්, කුශල ධර්මයන්හි තොපගේ ශ්‍රද්‍ධාවකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ ලජ්ජාවකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ භයකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ වීර්‍ය්‍යයකුත් නොවීය. කුශල ධර්මයන්හි තොපගේ ප්‍රඥාවකුත් නොවීය. යන පසයි.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්‍ණකොට, පිරිසිදුකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.

’’කවර පසක්ද යත්. කුශල ධර්මන්හි තොපගේ ශ්‍රද්‍ධාවද විය. කුශල ධර්මන්හි තොපගේ ලජ්ජාවද විය. කුශල ධර්මන්හි තොපගේ භයද විය. කුශල ධර්මන්හි තොපගේ වීර්‍ය්‍යයද විය. කුශල ධර්මන්හි තොපගේ ප්‍රඥාවද විය. යන පසයි.