අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
1. සෙඛබල වර්‍ගය
7. කාමපලාලිත සූත්‍රය
’’මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයට පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ශ්‍රද්‍ධාව අතුරුදහන් වේද, අශ්‍රද්‍ධාව හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ.
’’මහණෙනි, යම්තාක් අකුශල ධර්මයන්හි ලජ්ජාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශලයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ලජ්ජාව අතුරුදන් වේද, ලජ්ජාව නැතිබව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ. මහණෙනි, යම්තාක් අකුශල ධර්‍මයන්හි පාපයට භයවීම එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් පාපයට භයවීම අතුරුදන් වේද, පාපයට භය නැතිවීම හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ. මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් වීර්‍ය්‍යය අතුරුදන් වේද, කුසීත බව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ. මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ප්‍රඥාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ.
’’මහණෙනි, යම් තැනෙක පටන් ප්‍රඥා තොමෝ අතුරුදන් වේද, දුෂ්ප්‍රඥාව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.
’’මහණෙනි, බොහෝ සෙයින් සත්ත්‍වයෝ කාමයන්හි ඇළුනාහු වෙත්. මහණෙනි, කුලපුත්‍රතෙම දෑකැත්ත හා කූඩකද හැරදමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වේද, හෙතෙම ශ්‍රද්‍ධාවෙන් පැවිදිවූ කුලපුත්‍රයායයි කියන්ට සුදුසුය. ඊට හේතු කවරේද යත්? මහණෙනි, යෞවනයෙකු විසින් කාමයෝ ලැබිය හැක්කාහ. ඒ කාමයෝද වනාහි යම්බඳුවූවාහු හෝ එබඳුවූවාහු හෝ වෙත්. මහණෙනි, යම් හීනවූ කාමයෝ වෙත්ද, යම් මධ්‍යමවූ කාමයෝ වෙද්ද, යම් ප්‍රණීතවූ කාමයෝ වෙද්ද, ඒ සියලු කාමයෝ කාමයෝයයිම සංඛ්‍යාවට පැමිණෙත්.
’’මහණෙනි, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ ලදරු (දරු)වෙක් කිරිමවගේ ප්‍රමාදයකට පැමිණ, කාෂ්ටයක් හෝ, කැබලිත්තක් හෝ, මුඛයෙහි දමා ගන්නේද, එය කිරි මව වහා වහා මෙනෙහි කරන්නේය. වහ වහා මෙනෙහිකොට, වහ වහා පිටතට ගන්නේය. ඉදින් වහ වහා හැරගන්ට නොහැකි වන්නේ නම්, වම් අතින් වහා අල්වාගෙන, දකුණතින් ඇඟිල්ල වක්කොට ලේ සහිතවද හැර ගන්නේය. ඊට හේතු කවරේද? ’’මහණෙනි, කුමරුවාට වෙහෙස ඇත්තේය. මේ වෙහෙස නැතැයි නොකියමි. මහණෙනි, වැඩ කැමතිවූ, හිත කැමතිවූ, අනුකම්පා ඇත්තාවූ කිරි මව විසින් අනුකම්පාව නිසා මෙය කටයුතුද වේ.
’’මහණෙනි, යම් තැනක පටන් ඒ දරුවා වැඩිවිය පැමිණියේ, සුදුසු ප්‍රඥාව ඇත්තේ වේද, මහණෙනි, එතැන් පටන් කිරි මව ඒ දරුවා කෙරෙහි දැන් දරුවා තමා විසින් රක්නා ලද්දේ ප්‍රමාදවීමට සුදුසු නොවේයයි අපේක්‍ෂා නැත්තී වේද, මහණෙනි, මෙපරිද්දෙන්ම යම්තාක්ම භික්‍ෂුහුගේ කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට ලජ්ජාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට බියෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යයෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ප්‍රඥාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, මහණෙනි, ඒ තාක් මේ භික්‍ෂු තෙම මා විසින් රැකියයුතු වේ.
’’මහණෙනි, යම් තැනෙක පටන් භික්‍ෂුහුගේ කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ලජ්ජාාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට බියෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යයෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ප්‍රඥාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, මහණෙනි, දැන් මම ඒ සෝවාන්වූ භික්‍ෂුව කෙරෙහි දැන් භික්‍ෂු තෙම තමා විසින් රක්නා ලද්දේ ප්‍රමාදවීමට සුදුසු නොවේ යයි අපේක්‍ෂා නැත්තේ වෙමි’’ යි වදාළ සේක.