අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(7) 2. සඤ්ඤා වර්ගය
4. දුතිය අරියවුද්ධි සූත්‍රය
’’මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නීද, උතුම් ප්‍රයෝජනය ගන්නීද වේ.
’’කවර පසකින්ද යත්, ශ්‍රද්ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ශ්‍රුතයෙන් වැඩේද, ත්‍යාගයෙන් වැඩේද, ප්‍රඥාවෙන් වැඩේද යන පසිනි.
’’මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නීද, උතුම් ප්‍රයෝජනය ගන්නීද වේ.
’’මේ ලෝකයෙහි යම් ආර්‍ය්‍ය ශ්‍රාවිකාවක් ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන්ද, ප්‍රඥාවෙන් හා ත්‍යාගයෙන්ද, ශ්‍රුතයෙන්ද වැඩේද, එබඳු සිල්වත් උපාසිකා තොමෝ මෙලොවම ආත්මයාගේ උභය සාරය ගණීය’’ යි වදාළ සේක