අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)

10. චතුත්ථ අනාගත භය සූත්‍රය

’’මහණෙනි, මේ අනාගත භය පසක් දැන් නූපන්නාහු, මත්තෙහි උපදින්නාහුය. ඒ භය තොප විසින් දැනගත යුතුයි. දැනගෙණද, ඔවුන් දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.

’’කවර පසක්ද යත්? මහණෙනි, මතු කාලයෙහි සිවුරෙහි සුන්‍දරත්‍වය කැමැත්තාවූ භික්‍ෂූහු වන්නාහ. ඔවුහු සිවුරෙහි සුන්‍දරත්‍වය කැමැත්තාහුම පංසුකූලික බව හිස් කරන්නාහුය. වනයෙහි වානප්‍රස්ත නම් දුරවූ ශයනාසනයන් හිස් කරන්නාහුය. ගම්, නියම්ගම්, රාජධානිවල එකතුව වාසය කරන්නාහුය. සිවුරු හේතුකොටගෙනද අනෙකප්‍රකාරවූ නුසුදුසු සෙවීමට පැමිණෙන්නාහුය. මහණෙනි, මේ පළමුවන

’’අනාගත භය දැන් නොපැමිණියේ මතු පැමිණෙන්නේය. එය තොප විසින් දැනගතයුතුයි. දැනගෙනද, එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

මතු කාලයෙහි පිණ්ඩපාතියෙහි සුන්‍දරත්‍වය කැමැත්තාවූ භික්‍ෂූහු වන්නාහුය. ඔවුහු පිණ්ඩපාතයෙහි සුන්‍දරත්‍වය කැමැත්තාහුම පිණ්ඩපාතික බව හිස් කරන්නාහුය. වනයෙහි වානප්‍රස්ත නම් දුරවූ ශයනාසනයන් හිස් කරන්නාහුය. ගම්, නියම්ගම්, රාජධානිවල එකතුව ජිව්හාග්‍රයෙන් උතුම් රසයන් සොයමින් වාසය කරන්නාහුය. පිණඩපාතය හේතුකොටගෙනද අනෙකප්‍රකාරවූ නුසුදුසු සෙවීමට පැමිණෙන්නාහුය. මහණෙනි, මේ දෙවන අනාගත භය දැන් නොපැමිණියේ මතු පැමිණෙන්නේය. එය තොප විසින් දැනගතයුතුයි. දැනගෙනද, එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’මතු කාලයෙහි ශයනාසනයෙහි සුන්‍දරත්‍වය කැමැත්තාවූ භික්‍ෂූහු වන්නාහ. ඔවුහු ශයනාසනයෙහි සුන්‍දරත්‍වය කැමැත්තාහුම රුක්ඛමූළිකබව හිස් කරන්නාහුය. වනයෙහි වානප්‍රස්ත නම් දුර සෙනසුන් හිස් කරන්නාහුය. ගම්, නියම්ගම්, රාජධානිවල එකතුව වාසය කරන්නාහුය. ශයනාසන හේතුකොටගෙනද අනෙකප්‍රකාරවූ නුසුදුසු සෙවීමට පැමිණෙන්ාහුය. මහණෙනි, මේ තුන්වන අනාගත භය දැන් නොපැමිණියේ මතු පැමිණෙන්නේය. එය තොප විසින් දැනගතයුතුයි. දැනගෙනද, එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’මතු කාලයෙහි භික්‍ෂූහු, භික්‍ෂුණීය, ශික්‍ෂමානාය, සාමණේර යන මොවුන් හා එකතුව වාසය කරන්නාහුය. මහණෙනි, භික්‍ෂුණීය, ශික්‍ෂමානාය, සාමණේර යන මොවුන් හා එක්ව වාසය කිරීම ඇතිකල්හි වනාහි මෙය කැමතිවිය යුතුයි. නොඇළුනාවූ හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නාහුය. එක්තරා කිට්ටු ඇවතකට හෝ පැමිණෙන්නාහුය. ශික්‍ෂාව හෝ හැර දමා ගිහි බවට පැමිණෙන්නාහුය. මහණෙනි, මේ සතරවන අනාගත භය දැන් නොපැමිණියේ මතු පැමිණෙන්නේය. එය තොප විසින් දැනගතයුතුයි. දැනගෙනද, එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’මතු කාලයෙහි භික්‍ෂූහු වන්නාහුය. ආරාමිකයන්ය, සමනුද්දේශය යන මොවුන් හා එක්වූවාහු වාසය කරන්නාහුය. මහණෙනි, ආරාමිකයන්ය, සමනුද්දේශය යන මොවුන් හා එක්ව වාසය කිරීම ඇතිකල්හි වනාහි මෙය කැමතිවියයුතුයි. අනෙකප්‍රකාරවූ .ස්කොට තබා පරිභොග කිරීමෙහි යෙදුනාහු වාසය කෙරෙත්. පොළොවෙහිද, නිල් තණ ඇති තැනද, මහත්වූද නිමිත්ත කරන්නාහුය. මහණෙනි, මේ පස්වන අනාගත භය දැන් නොපැමිණියේ මතු පැමිණෙන්නේය. එය තොප විසින් දැනගතයුතුයි. දැනගෙනද, එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.

’’මහණෙනි, මේ අනාගත භය පසක් දැන් නූපන්නාහු, මත්තෙහි උපදින්නාහුය. ඒ භය තොප විසින් දැනගත යුතුයි. දැනගෙණද, ඔවුන් දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.

යොධාජීව වර්‍ගය නිමි.