අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

9. පඨම ආගාරව සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.

’’කවර පසකින්ද යත්? මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම

’’ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.

’’මහණෙනි, ලජ්ජා නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, භය නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, අලසවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

’’කවර පසකින්ද යත්? මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තාවූ භික්‍ෂු තෙම

’’ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

’’මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, ප්‍රඥා සහිතවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.