අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. අනුත්තරිය වර්‍ගය

1. සාමගාම සූත්‍රය

එක් සමයෙක භාග්‍යවත් තෙමේ ශාක්‍ය ජනපදයෙහි සාමගාම පොක්ඛරණියාවෙහි වෙසෙයි. ඉක්බිත්තෙන් වනාහි එක්තරා දේවතා කෙනෙක් එළඹ සිටි රැයෙහි අභිරූප වර්‍ණ ඇත්තේ සියලු පොක්ඛරණියාව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

’’ස්වාමීනි, දැරීම් තුනක් මහණහුගේ පිරිහීමෙහි පවතී. ඒ තුන කවරේද යත් ? කම්මාරාමතාව (කටයුතුවලට ඇලීම). හස්සාරාමතාව (කථා කරමින් ඉඳීමේ ඇල්ම), නිද්දාරාමතාව (නින්දටම ඇලීම) යි. ස්වාමීනි, මේ තුන් දැරීමම භික්‍ෂුවගේ පිරිහීමෙහි පවතීය’’ යි ඒ දෙවිතෙම මෙය කීය. ශාස්තෘතෙම එය මනාව අනුදත්සේක.

’’ඉක්බිති ඒ දෙවිතෙම ශාස්තෘතෙමේ මට එකඟවීයයි භගවත්හු වැඳ, පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.

’’ඉක්බිති භගවත්තෙමේ ඒ රැය ගෙවී ගිය කල්හි භික්‍ෂූන් ඇමතීය. ’’මහණෙනි, මේ රැයෙහි එක්තරා දේවතාවෙක් එළඹ සිටි රැයෙහි අභිරූප වර්‍ණ ඇත්තේ සියළු පොක්ඛරණියාව බබුලුවා මම යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, මට වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම මට මෙය කීය. ’ස්වාමීනි, දැරීම් තුනක් මහණහුගේ පිරිහීමෙහි පවතී. ඒ තුන කවරේද යත් ? කම්මාරාමතාව (කටයුතුවලට ඇලීම). හස්සාරාමතාව (කථා කරමින් ඉඳීමේ ඇල්ම), නිද්දාරාමතාව (නින්දටම ඇලීම) යි. ස්වාමීනි, මේ තුන් දැරීමම භික්‍ෂුවගේ පිරිහීමෙහි පවතීය’’ යි ඒ දෙවිතෙම මෙය කීය. ශාස්තෘතෙම එය මනාව අනුදත්සේක.

’’තොපට කුසල් දහම්වලින් පිරිහීම ඇති කල්හි යම් ඒ දේවතාවෝ දනිත්ද, ඒ තොපට මහණෙනි, (ඔවුහු) ලද නොහැක්කෝය. ලැබීමට දුෂ්කරයෝය.

’’මහණෙනි, අනෙකුත් පිරිහෙන දරාගැනීම් තුනක් දෙසන්නෙමි. එය අසව්. හොඳින් සලකව්. කියන්නෙමි.’’ ’’එසේය ස්වාමීනි’’ යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

’’මහණෙනි, පිරිහීමේ දරාගැනීම් තුන කෙසේද ? සංගණිකාරාමතාව (කාණ්ඩ ගැසීමේ ඇල්ම) යි, දොවචස්සතාව (නරක වචන ඇති බව) යි, පාපමිත්තතා (නරක යහළුවන් ආශ්‍රය) යි. මේ වනාහි පිරිහීමේ දරාගැනීම් තුනයි.

’’මහණෙනි, යම් කිසිවෙක් පෙර කල්හි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය. යම් කිසිවෙක් අනාගත කාලයෙහි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය. යම් කිසිවෙක් දැන් කාලයෙහි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය.