අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. ධම්මික වර්‍ගය
4. මහා චුන්‍ද සූත්‍රය
’’මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේ චෙතිය රට සහජාතිය නම් ස්ථානයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’ආයුෂ්මතුනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ’ආයුෂ්මත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.
’’ඇවැත්නි, මේ ශාසනයෙහි ධර්‍මයෙහි යෙදෙන භික්‍ෂූහු ධ්‍යාන කරණ භික්‍ෂූන් නොසතුටු කරවත්. මොවුහු ධ්‍යාන කරන්නෝ වෙමුයි සිතත්. දොස් කියත්. කුමක් නම් මොවුහු ධ්‍යාන කරත්ද, කෙසේ නම් මොවුහු ධ්‍යාන කරත්ද ? යනුවෙනි. එහි ධර්මයෙහි යෙදෙන භික්‍ෂූහුද නොපහදිත්. ධ්‍යාන කරන භික්‍ෂූහුද නොපැහැදෙත්.
’’බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස යෙදුනාහු නොවෙත්. මහණෙනි, මෙහි ධ්‍යාන කරණ භික්‍ෂූහු ධර්‍මයෙහි යෙදෙන භික්‍ෂූන් නොසතුටු කරවත්. මොවුහු වනාහි ’’ධර්‍මයෙහි යෙදෙන්නම්හ. ධර්‍මයෙහි යෙදෙන්නම්හ’’. යි උඩඟුවූ, මානයෙන් යුක්තවූ, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, සිහිමුළාවූ, නොදැමුණ භ්‍රාන්ත සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති මොවුහු කෙසේනම් ධර්මයෙහි යෙදෙත්ද? කුමක් නම් යොදවත්ද? යනුවෙනි. මෙහි ධ්‍යායී භික්‍ෂූහුද නොපහදිත්. ධර්මයෙහි යෙදෙන භික්‍ෂූහුද නොපැහැදෙත්. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස නොයෙදුනාහු වෙත්.
’’ඇවැත්නි, මෙහි වනාහි ධර්මයෙහි යෙදෙන භික්‍ෂූන්ගේ ගුණය කියත්. ධ්‍යාන කරණ භික්‍ෂූන්ගේ ගුණ නොකියත්. එහි ධර්මයෙහි යෙදෙන භික්‍ෂූහුද නොපහදිත්. ධ්‍යාන කරණ භික්‍ෂූහුද නොපහදිත්. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස නොයෙදුනාහු වෙත්.
’’මෙහි වනාහි ධ්‍යාන කරණ භික්‍ෂුව, ධ්‍යාන කරණ භික්‍ෂූන්ගේ ගුණ කියත්. ධර්මයෙහි යෙදෙන භික්‍ෂූන්ගේ ගුණ නොකියත්. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස නොයෙදුනාහු වෙත්.
’’ඇවැත්නි, මෙහි මෙසේ හික්මිය යුතුයි. ’ධර්‍මයෙහි යෙදෙන අපිද ධ්‍යාන කරණ භික්‍ෂූන්ගේ ගුණ කියන්නෙමු කියායි. මෙහි යුෂ්මතුන් මෙසේ හික්මිය යුතුය. එයට හේතු කවරේද? ඇවැත්නි, යමෙක් අමෘතවූ නිර්‍වාණ ධාතුව කයින් ස්පර්‍ශකොට වෙසෙත්ද, එබඳු ආශ්චර්‍ය්‍යවත් පුද්ගලයෝ ලෝකයෙහි දුර්ලභයහ. ඇවැත්නි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය. ’ධ්‍යාන කරණ අපිද, ධර්මයෙහි යෙදෙන භික්‍ෂූන්ගේ ගුණය කියන්නෙමු’ කියායි. ඇවැත්නි, මෙසේ වනාහි හික්මිය යුතුය. එයට හේතු කවරේද? යම් කෙනෙක් ගැඹුරු අර්ත්‍ථපදය නුවණින් විනිවිද බලත්ද, එබඳු ආශ්චර්‍ය්‍යවත් පුද්ගලයෝ ලෝකයෙහි දුර්ලභ වෙත්.’’