අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
1. මෙත්තා වර්‍ගය
1. අඨමෙත්තානිසංස සූත්‍රය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි, ’’ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’ භාග්‍යවතුන් වහන්සැ’ යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.
’’ඒ කිනම් ආනිශංස අටක්ද? සැපසේ නිදයි. සැපසේ අවදිවෙයි. නපුරු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නක් හෝ විසක් හෝ ආයුධයක් හෝ නොවදී. මෛත්‍රී භාවනාවෙන් රහත් බව ලබන්නට නොහැකිවීනම් (මරණින් මතු) බඹ ලොව උපදී. මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.
(1) යමෙක් අප්‍රමාණ සතුන් වෙත මෛත්‍රිය සිහියෙන් යුක්තව වඩාද, විදර්‍ශනාවෙන් කෙළෙස් නැති කිරීමයයි කියන ලද රහත් බවට පැමිණියහුගේ දශ සංයෝජනයෝ තුනී වෙත්.
(2) ’’ඉදින් එකද සත්ත්‍වයෙකුට දූෂ්‍ය නුවූ සිත් ඇත්තේ මෛත්‍රී කෙරේද, ඒ කරණකොට ගෙන කුසල් ඇත්තේ වෙයි. සියලු ප්‍රාණීන් කෙරෙහිම සිතින් අනුකම්පා කරන්නාවූ ආර්‍ය්‍යතෙම බොහෝ පින් කරයි.’’
(3) යම් නෙනෙක් සත්ත්‍වයන්ගෙන් පිරුණාවූ පොළොව ජයගෙන තාපසයන් මෙන් දැහැමි රජවරු වූවාහු දන් දෙමින් හැසුරුණහුද, අෂ්ව මෙධය, පුරුෂ මෙධය, සම්මාපාසය, වාචපෙය්‍යය, නිරග්ගලයයි යම් යාග පසක් වෙද්ද, ඒ මහා යාගයෝද මනාකොට වඩන ලද මෛත්‍රී සිතෙහි දහසයවන කලාවටද නොපැමිණෙත්. චන්‍ද්‍රයාගේ රෂ්මිය මෙන් තාරකාවන්ගේ රශ්මිය නැත්තාක් මෙනි.’’
(4) යමෙක් තෙම සතුන් නොමරාද, අනුන් ලවාත් නොමරවාද, අනුන් නොපරදවාද, වෙන කෙනෙකු ලවාත් අනුන් නොපරදවාද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී පිණ්ඩයක් වේ. ඔහු කෙරෙහි කිසිවෙකුගේ වෛරයක් නැත්තේය.’’