අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

3. ගෘහපති වර්‍ගය

2. හත්‍ථිගාමකඋග්ග සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට හස්ති ග්‍රාමයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්සැ’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, හස්තිග්‍රාමයෙහි උග්‍ර ගෘහපතියා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයෙකැයි මෙනෙහි කරවු’’ යයි මෙසේ වදාළ සේක. සුගතයන් වහන්සේ මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.

’’ඉක්බිති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාගේ නිවසට පැමිණියේය. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය. එකල්හි හස්තිග්‍රාම උග්‍ර ගෘහපතියා ඒ භික්‍ෂූන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ සැළකෙළේය.

’’ගෘහපතිය, ඔබ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ගෘහපතිය, ඔබ කෙරෙහි ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අට කවරහුද?’’

’’ස්වාමීන් වහන්ස, මා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කවර කරුණු අටකින් යුක්තවූවෙකු ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේදැයි මම නොදනිමි. ස්වාමීන් වහන්ස, එසේද වුවත් මා කෙරෙහි යම් කිසි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ කරුණු අටක් විද්‍යමාන වෙත්. ඒ කරුණු අට ශ්‍රවණය කළ මැනව. ’’ගෘහපතිය, එසේය’’ යි ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාට ප්‍රතිවචන දුන්නේය. හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා මෙසේ ප්‍රකාශ කෙළේය.

’’ස්වාමීන් වහන්ස, යම් දිනයෙක්හි මම නාගවනයෙහි උද්‍යාන ක්‍රීඩාවෙන් හැසිරෙන කල්හි පළමුකොටම දුරදීම භාග්‍යවතුන් වහන්සේ දුටුයෙම්ද, ස්වාමීන් වහන්ස, ඒ දැකිමත් සමගම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ සිත ප්‍රසන්න වූයේය. සුරා මදයද පහව ගියේය. ස්වාමීන් වහන්ස, මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි පහන් සිත් ඇත්තේ (ම) භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ (එසේ) පැමිණියාවු මට අනුපූර්‍ව කථාව වදාළ සේක. ඒ කෙසේදයත්? දාන කථාවය, ශීල කථාවය, ස්වර්‍ග කථාවය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කෙලෙස් සහිත බවය, ගිහිගෙන් නික්මී පැවිදිවිම හා භවයෙන් නික්මීමෙහි අනුසස්ය. (මේ අතර) යම් අවස්ථාවෙක්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, මා නීරෝගී සිත් ඇත්තේයයිද, මෘදුවූ සිත් ඇත්තේයයිද, කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් තොරවූ සිත් ඇත්තේයයිද, ඔදවැඩි සිත් ඇත්තේයයිද, ප්‍රසන්නවූ සිත් ඇත්තේයයිද, දැන වදාළ සේක්ද, එකල්හි බුදුවරයන් වහන්සේලා විසින් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරණු ලබන්නාවූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්ම දේශනාවක් වීනම් ඒ ධර්ම දේශනාව වදාළ සේක.

’’යම්සේ වනාහි පහවූ කිලුටු ඇති ශුද්‍ධවූ වස්ත්‍රයක් තෙම මනාකොටම රජනය (වර්‍ණණය) පිළිගන්නේද, එපරිද්දෙන්ම වනාහි එම අසුනෙහිදිම මට, ඇතිවන ස්වභාවවූ යම් කිසි ධර්මයක් වේ නම්, ඒ සියල්ල නිරුද්‍ධවන ස්වභාවයයි, කෙලෙස් රජසින් තොරවූ, කෙලෙස් මලින් තොරවූ, මාර්ග ඥානය උපන්නේය.

’’ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි දක්නාලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, පැමිණෙන ලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, අවබෝධ කරණ ලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, හාත්පසින් බැස ගන්නා ලද ආර්‍ය්‍ය සත්‍යය ධර්මඥානය ඇත්තේ, තරණය කරණ ලද බුද්‍ධාදී අට තැන්හි සැක ඇත්තේ (එහෙයින්ම) පහවූ කථංකථ (විචිකිච්ඡා) ඇත්තේ, විශාරද භාවයට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි අන්‍යයෙකුගේ සහායෙන් ලැබියයුතුවු ප්‍රත්‍යය රහිතවූයේ, එහිදිම බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සරණ ගියෙමි. බ්‍රහ්මචරියාව පස්වැනිවු ශික්‍ෂාපදයන් සමාදන් වුයෙමි. ස්වාමීන් වහන්ස, මේ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, ඒ මට තරුණවූ භාර්‍ය්‍යාවෝ සිවු දෙනෙක් වුහ. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ භාර්‍ය්‍යාවන් වෙත පැමිණියෙමි. පැමිණ ඒ භාර්‍ය්‍යාවන්ට මෙසේ කීවෙමි. ’නැගනියෙනි, මා විසින් වනාහි බ්‍රහ්මචර්‍ය්‍යා පස්වැනිවු ශික්‍ෂාපද (බ්‍රහ්මචරිය පඤ්චසීලය) සමාදන් වන ලදී. යම් භාර්‍ය්‍යාවක් කැමතිනම් මෙහිම සම්පත් අනුභව කෙරේවා. කුසල්ද කෙරේවා, (එසේ නොහැකිනම්) සිය නෑ කුලයට හෝ යේවා. තොප (නැවත) විවාහවනු කැමැත්තහු නම් කවරෙකුට (විවාහකර) දෙම්ද?’ ’ස්වාමීන් වහන්ස, මෙසේ කී කල්හි ඒ වැඩිමහළු භාර්‍ය්‍යා තොම, ’මා මෙනම් ආර්‍ය්‍ය පුත්‍රයාට (ස්වාමිපුත්‍රයාහට) දෙව’ යි මට මෙසේ කීවාය. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ පුරුෂයා කැඳවා, වමතින් භාර්‍ය්‍යාව අල්වාගෙන, දකුණතින් කෙණ්ඩිය ගෙන, (ඈ) ඒ පුරුෂයාහට (අත පැන් වත්කොට) විවාහ කර දුනිමි. ස්වාමීන් වහන්ස, මම තරුණවූ ඒ භාර්‍ය්‍යාව පරිත්‍යාග කරන්නෙම් සිතෙහි වෙනස් බවක් නොදනිමි. ස්වාමීන් වහන්ස, මේ තුන්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, මාගේ ගෘහයෙහි වනාහි වස්තුව ඇත්තාහ. ඒ වස්තුව වනාහි යහපත් ගුණ ධර්මයෙන් යුක්තවූ සිල්වතුන් වහන්සේලා සමග බෙදන ලද්දේ (පරිභෝග කරණ ලද්දේ) වෙයි. ස්වාමීන් වහන්ස, මේ හතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, මම වනාහි යම් භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණෙන්නෙම් නම් සකස්වම (යහපත්වම) පැමිණෙන්නෙමි. නොසකස්ව නොපැමිණෙන්නෙමි. ස්වාමීන් වහන්ස, මේ පස්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා කෙරේ නම් සකස්වම ශ්‍රවණය කරමි. නොසකස්ව ශ්‍රවණය නොකරමි. ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා නොකෙරේ නම් මම උන්වහන්සේට ධර්මය දේශනා කරමි. ස්වාමීන් වහන්ස, මේ සයවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණ, මා විසින් සඞ්ඝයා වෙත ආරාධනා කළ කල්හි දේවතාවෝ ම වෙත පැමිණ ’ගෘහපතිය, අසවල් භික්‍ෂුතෙම උභතොභාග විමුක්තය. අසවල් භික්‍ෂුතෙම ශුෂ්කවිදර්‍ශකක්‍ෂීණාශ්‍රවය. අසවල් භික්‍ෂුතෙම කයින් ධ්‍යානය ස්පර්‍ශකොට පසුව නිවන් ලැබුවේය. අසවල් භික්‍ෂුතෙම දිඨප්පත්තය. අසවල් භික්‍ෂුතෙම ශ්‍රද්‍ධා විමුක්තය. අසවල් භික්‍ෂුතෙම ශ්‍රද්‍ධානුසාරිය. අසවල් භික්‍ෂුතෙම ධර්මානුසාරීය. අසවල් භික්‍ෂුතෙම යහපත් ස්වභාව ඇත්තාවූ සිල්වතෙක්ය. අසවල් භික්‍ෂුතෙම ලාමක ස්වභාව ඇත්තාවූ දුශ්ශීලයෙක්ය’ යි සැලකරත්. ඒ ආශ්චර්‍ය්‍ය නොවෙයි. ස්වාමීන් වහන්ස, මම වනාහි සඞ්ඝයා වළඳවන කල්හි මුන්වහන්සේට ස්වල්පයක් දෙමි. මුන්වහන්සේට බොහෝකොට දෙමියි මෙබඳු සිතක් උපදවන ලද්දේයයි නොම දනිමි.

’’ස්වාමීන් වහන්ස, මම වනාහි සම සිත් ඇත්තේම දෙමි. ස්වාමීන් වහන්ස, මේ සවැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණ, ’ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේ වේය’ යි සැල කරත්. ස්වාමින් වහන්ස, මෙසේ කියන කල්හි මම ඒ දේවතාවුන්ට මෙසේ කියමි. ’දේවතාවෙනි, තෙපි කිවුවත්, නොකිවුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේමය. ඒ ආශ්චර්‍ය්‍ය නොවෙයි.’ ස්වාමීන් වහන්ස, මා වෙත දේවතාවෝ පැමිණෙත්යයි කියා හෝ, මම දේවතාවුන් සමග කථා කරමි කියා හෝ, ඒ හේතුවෙන් මා සිතෙහි උඩඟු බවක් නොම දනිමි. ස්වාමීන් වහන්ස, මේ සත්වැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍මය වනාහි මා කෙරෙහි ඇත්තේය.

’’ස්වාමීන් වහන්ස, ඉදින් වනාහි මම භාග්‍යවතුන් වහන්සේට පළමුවෙන් කළුරිය කරන්නෙම් නම්, ’යම් සඤ්ඤොජනයකින් යුක්තවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා නැවත මේ ලෝකයට (උත්පත්ති වශයෙන්) එන්නේද, එබඳු සඤ්ඤොජනයක් (ඔහුට) නැතැ’ යි භාග්‍යවතුන් වහන්සේ මා (සඳහා) යමක් වදාරණ ලද්දේද එය ආශ්චර්‍ය්‍ය නොවෙයි.

’’ස්වාමීන් වහන්ස, මේ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අට මා කෙරෙහි ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මා කවර ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්‍ම අටකින් යුක්තවූවෙකු ලෙස ප්‍රකාශ කරණ ලද්දේදැයි මම වනාහි නොදනිමි.’’

ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියාගේ නිවසෙහි පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දානය වළඳා, පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවු ඒ භික්‍ෂූන් වහන්සේ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා සමග (කරණ ලද) යම් පමණ කථා සල්ලාපයක් වීනම්, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

’’යහපති, යහපති, මහණ, යම් සේ වනාහි හේතු සහිතව ප්‍රකාශ කරන්නාවූ හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ප්‍රකාශ කරන්නේද, මහණ, මා විසින්ද හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම අටකින් යුකත වූයේයයි ප්‍රකාශ කරණ ලද්දේ ඒ මේ ගුණ ධර්ම අටින්මය. මහණ, හස්තිග්‍රාමක උග්‍ර ගෘහපතියා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ මේ ගුණධර්ම අටින් යුක්ත වූයේයයි (සිත්හි ලා) දරවු.’’