අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
3. ගෘහපති වර්‍ගය
3. හත්‍ථක සත්ත ධම්ම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්නුවර අග්ගාලව චේතිය විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්සැ’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ’’මහණෙනි, හත්‍ථක ආලවතයා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම සතකින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු. කවර ගුණ ධර්ම සතකින්ද යත්?’’
’’මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්‍ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ආශ්චර්‍ය්‍ය අද්භූතවූ මේ (ගුණ) ධර්ම සතින් යුක්ත වූයේයයි සිත්හි ලා දරවු.’’
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
’’ඉක්බිති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හත්‍ථක ආලවකයාගේ නිවස යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය.
ඉක්බිති හත්‍ථක ආලවකයා ඒ භික්‍ෂූන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවු හත්‍ථක ආලවකයාට ඒ භික්‍ෂූන් වහන්සේ මෙසේ සැළකෙළේය.
’’ඇවැත්නි, ඔබ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම සතකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. ඒ කවර ගුණ ධර්ම සතකින්ද යත්?’’ ’මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්‍ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.
’’ඇවැත්නි, ඔබ මේ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්‍ම සකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය.’’
’’කිමෙක්ද, ස්වාමීන් වහන්ස, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේද?’’ ’’ඇවැත්නි, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.’’ ’’යහපති, ස්වාමීන් වහන්ස, ඉදින් මේ ශාසනයෙහි සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.’’
’’ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ හත්‍ථක ආලවකයාගේ නිවසෙහි පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති ඒ භික්‍ෂූන් වහන්සේ දන් වළඳා පස්වරු කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙලේය.
’’ස්වාමීන් වහන්ස, පෙරවරු කාලයෙහි මම හැඳ පෙරවා පාත්‍ර සිවුරු රැගෙන හත්‍ථක ආලවකයාගේ නිවසට පැමිණියෙමි. පැමිණ පණවන ලද අසුනෙහි හුන්නෙමි. ස්වාමීන් වහන්ස, එකල්හි හත්‍ථක ආලවකයා මා වෙත පැමිණි යේය. පැමිණ, මා වැඳ එකත්පසෙක හුන්නේය. ස්වාමීන් වහන්ස, එකත්පසෙක හුන්නාවූ හත්‍ථක ආලවකයාට මම මෙසේ ප්‍රකාශ කෙළෙමි. ’’ඇවැත්නි, ඔබ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ (ගුණ) ධර්ම සතකින් යුක්තවූයේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. ඒ කවර ගුණ ධර්ම සතකින්ද යත්?’’ ’මහණෙනි, හත්‍ථක ආලවකයා ශ්‍රද්‍ධාවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා සිල්වතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා පාපයෙහි භය ඇත්තෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා (ධර්‍මය) උගතෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්‍ථක ආලවකයා ප්‍රඥාවන්තයෙකි.
’’ස්වාමීන් වහන්ස, මෙසේ කියන ලද කල්හි හත්‍ථක ආලවකයා මට මෙසේ කීයේය. ’’කිමෙක්ද, ස්වාමීන් වහන්ස, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේද?’’ ’’ඇවැත්නි, සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.’’ ’’යහපති, ස්වාමීන් වහන්ස, ඉදින් මේ ශාසනයෙහි සුදු වස්ත්‍ර හඳින්නාවූ (එබඳුවූ) කිසි ගිහියෙක් නුවූයේය.’’
’’යහපති, යහපති, මහණ. මහණ, ඒ කුලපුත්‍රයා අල්පෙච්ඡයෙකි. තමා කෙරෙහි ඇත්තාවූද කුශල ධර්මයන් අනුන්ට හැඟවීමට නොකැමැති වෙයි. එසේ වී නම් මහණ, ඔබ මේ අටවැනිවූ ආශ්චර්‍ය්‍ය අද්භූතවූ යම් මේ අල්පෙච්ඡ ගුණ ධර්මයෙන්ද, හත්‍ථක ආලවකයා යුක්තවූයේයයි සිත්හි ලා දරව.’’