අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

3. ගෘහපති වර්‍ගය

6. ජීවක කොමාරහච්ච සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජීවක අඹ උයනෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි කෝමාරහච්ච නම්වූ ජීවක (වෛද්‍යවර)යා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝමාරහච්ච නම්වූ ජීවක (වෛද්‍යවර)යා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.

’’ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයෙක් වේද?’’ (උපාසකයාගේ අඞ්ග කොපමණද?)

’’ජීවකය, යම් දිනක පටන් බුදුන් සරණ ගියේද, ධර්‍මය සරණ ගියේද, සංඝයා සරණ ගියේද, මහානාමය, මෙපමණකින්ම උපාසක නම් වෙයි.’’

’’ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා සිල්වත් වේද?’’

’’ ජීවකය, යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද, අදත්තාදානයෙන් තොර වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද, බොරු කීමෙන් තොර වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ මත්පැන් පානයෙන් තොර වූයේ වේද, ජීවකය, මෙපමණකින් උපාසකයා සිල්වතෙක් වෙයි.’’

’’ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා අන්‍යයාගේ හිත වැඩ පිණිස නොව තමාගේ හිත වැඩ පිණිස පිළිපන්නේ වේද?’’

’’ ජීවකය, යම් දිනක පටන් උපාසකයා තමා (පමණක්) ශ්‍රද්‍ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශ්‍රද්‍ධා සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයා ත්‍යාග සම්පත්තියෙහි නොයොදවාද, තමා (පමණක්) භික්‍ෂූන් දැකීමට කැමති වේද, අන්‍යයා භික්‍ෂූන් දැකීමෙහි නොයොදවාද, තමා (පමණක්) සඞර්‍මය ඇසීමෙහි කැමති වේද, අන්‍යයා සඞර්‍මය ඇසීමෙහි නොයොදවාද, තමා (පමණක්) ඇසූ ධර්‍මයන් ධාරණය කර ගැනීමෙහි කැමති වේද, අන්‍යයා ධර්‍මය දරා ගැනීමෙහි නොයොදවාද, තමා (පමණක්) දරාගත් ධර්‍මයන්ගේ අර්ත්‍ථ මෙනෙහි කරන්නේ (පරීක්‍ෂා කරන්නේ) වේද, අන්‍යයා ධර්මාර්ත්‍ථය පරීක්‍ෂණයෙහි නොයොදවාද, තමා (පමණක්) ධර්මාර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපන්නේ වේද, අන්‍යයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයොදවාද, ජීවකය, මෙපමණකින් උපාසකයා පර වැඩ පිණිස නොව තමා හිත වැඩ පිණිස පිළිපන්නේ වෙයි.’’

’’ස්වාමීන් වහන්ස, කොපමණකින් වනාහි උපාසකයා අත්වැඩ පිණිස පිළිපන්නේත් වේද, පරවැඩ පිණිස පිළිපන්නේත් වේද,

’’ ජීවකය, යම් දිනක පටන් තමා විසින්ද, ශ්‍රද්‍ධා සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශ්‍රද්‍ධා සම්පත්තියෙහි යොදවාද, තෙමේ ශීල සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ශීල සම්පත්තියෙහි යොදවාද, තෙමේ ත්‍යාග සම්පත්තියෙන් යුක්තවූයේ වේද, අන්‍යයාද ත්‍යාග සම්පත්තියෙහි යොදවාද, තෙමේ භික්‍ෂූන් දැකීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද භික්‍ෂූන් දැකීමෙහි යොදවාද, තෙමේ බණ ඇසීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද බණ ඇසීමෙහි යොදවාද, ඇසූ බණ සිත තබා ගැනීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද ඇසූ බණ සිත තබා ගැනීමෙහි යොදවාද, තෙමේ සිත තබාගත් ධර්මයෙහි අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි යෙදුනේ වේද, අන්‍යයාද සිත තබාගත් ධර්මයෙහි අර්ත්‍ථ පරීක්‍ෂා කිරීම පිණිස යොදවාද, තෙමේ අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි (බණට අනුව පිළිපැදීමෙහි) යෙදුනේ වේද, අන්‍යයාද බණට අනුව පිළිපැදීමෙහි යොදවාද, ජීවකය, මෙපමණකින් උපාසකයා අත් වැඩ පිණිසත්, පර වැඩ පිණිසත් පිළිපන්නේ වෙයි.’’