අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. සති වර්‍ගය

10. සම්මාවත්තන සූත්‍රය

’’මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.

’’කවර කරුණු අටකින්ද යත්? ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට නින්‍දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ගේ ගුණ කියාද, ධර්මයේ ගුණ කියාද, සංඝයාගේ ගුණ කියාද, ගිහියන්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්‍ය කෙරේද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.

’’මහණෙනි, ’’පාපිය්‍යසිකා’’ නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.

’’උපසම්පදා නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. සාමණේරවරු උපස්ථාන නොකළ යුතුය. භික්‍ෂුණීන්ට අවවාද දීමේ සම්මුතිය බාර නොගත යුතුය. සම්මතවූවද, භික්‍ෂුණීන්ට අවවාද නොදිය යුතුය. කිසිම සංඝ සම්මතයක් භාර නොගත යුතුය. කිසිම වෙන් තැනෙක තැබිමක් නොකළ යුතුය. ඒ මුලින් නොනැගිටවිය යුතුය. මහණෙනි, ’’පාපිය්‍යසිකා’’ නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.

නව වන සති වර්‍ගය නිමි.