සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
2. ආහාර වර්ගය
6. ධර්ම කථික සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, ධර්මකථිකයාය, ධර්මකථිකයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්ම කථිකයෙක් වෙයිද?”
“ඉදින් මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, ජරා මරණ නැතිකිරීම පිණිසද, ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිසද නොඇලීම පිණිසද සහ ජරා මරණ නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම (ධර්මානුධර්ම පටිපන්න) ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ජරා මරණයට කලකරීම හේතුකොටගෙන, නොඇලීම හේතුකොටගෙන, ජරා මරණ නැතිකිරීම හේතුකොටගෙන, සතර උපාදානයන්ගේ අල්වා ගැනීමෙන් මිදුනේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම ඉපදීමට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ජාතියට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ජාතියට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම භවයට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම භවයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම භවයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම උපාදානයට (තද ඇල්මට) කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීම; නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම වේදනාවට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේවෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධමර්යට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම ස්පර්ශයට කලකිරීම නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ස්පර්ශයට කලකිරීම, නොඇලී සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ස්පර්ශයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම සළායතනයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සළායතනයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සළායතනයන්ට කලකිරීමෙන් නොඇල්මෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම නාමරූපයන්ට කලකිරීම, නොඇලී, එය නැතිකිරීම පිණිස ධර්මදෙශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම නාමරූපයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම නාමරූපයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණ තෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදෙශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම විඤ්ඤාණයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදෙශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංස්කාරයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
“ඉදින් මහණතෙම අවිජ්ජාවට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදෙශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම අවිජ්ජාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම අවිජ්ජාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.