සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

2. ආහාර වර්ගය

5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.

ඉක්බිති කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක සිටියේය. එක් පැත්තක සිටියාවූ, ඇවැත් කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි. ස්වාමීනි කෙතෙක් කරුණකින් වනාහි සම්‍යක්දෘෂ්ටිය වේද?”

කච්චායනය, මේ ලෝවැසි තෙම බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට වනාහි ලෝකයෙහි නැත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය, නොවෙයි කච්චායනය, මේ ලෝවැසි තෙම වනාහි බොහෝ සෙයින් උපාය උපාදාන අභිනිවෙස නම්වූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් බඳනා ලද්දේ වෙයි. (එහෙත්) මේ ආර්ය ශ්‍රාවකතෙම අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියනලද තෘෂ්ණාදෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොපැමිණෙයි, නොගනියි, නොපිහිටයි. උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙතෙක් කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය වෙයි.

කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක. (කෙසේද?) අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”

(කාත්‍යායන ගොත්‍ර සූත්‍රය නිමි.)