සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
4. කළාරඛත්තිය වර්ගය
3. ඤාණවත්ථු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, නුඹලාට ඤාණවස්තූන් හතළිස් හතරක් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි (දේශනා කළසේක.) ‘එසේය ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, ඤාණවස්තු හතළිස් හතර කවරේද?”
“ජරාමරණ දන්නා ඤාණය. ජරාමරණ හේතූන් දන්නා ඤාණය, ජරා මරණයන්ගේ නිරුද්ධවීම දන්නා ඤාණය, ජරාමරණ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව දන්නා ඤාණය.
“ජාතිය දන්නා ඤාණය, ජාති හේතුව දන්නා ඤාණය, ජාති නිරෝධය දන්නා ඤාණය, ජාති නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.
භවය දන්නා ඤාණය, භව හේතුව දන්නා ඤාණය, භව නිරෝධය දන්නා ඤාණය, භව නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.
උපාදානය දන්නා ඤාණය, උපාදාන හේතුව දන්නා ඤාණය, උපාදාන නිරෝධය දන්නා ඤාණය, උපාදාන නිරෝධගාමිනී පටිපදාව දන්නා ඤාණය.
තණ්හාව දන්නා ඤාණය, තණ්හා හේතුව දන්නා ඤාණය, තණ්හා නිරෝධය දන්නා ඤාණය, තණ්හා නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
වේදනා දන්නා ඤාණය, වේදනා හේතුව දන්නා ඤාණය, වේදනා නිරෝධය දන්නා ඤාණය, වේදනා නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
ස්පර්ශය දන්නා ඤාණය, ස්පර්ශය හේතුව දන්නා ඤාණය, ස්පර්ශය නිරෝධය දන්නා ඤාණය, ස්පර්ශය නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
සළායතන දන්නා ඤාණය, සළායතන හේතුව දන්නා ඤාණය, සළායතන නිරෝධය දන්නා ඤාණය, සළායතන නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“නාමරූප දන්නා ඤාණය, නාමරූප හේතුව දන්නා ඤාණය, නාමරූප නිරෝධය දන්නා ඤාණය, නාමරූප නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“විඤ්ඤාණ දන්නා ඤාණය, විඤ්ඤාණ හේතුව දන්නා ඤාණය, විඤ්ඤාණ නිරෝධය දන්නා ඤාණය, විඤ්ඤාණ නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“සංඛාර දන්නා ඤාණය, සංඛාර හේතුව දන්නා ඤාණය, සංඛාර නිරෝධය දන්නා ඤාණය, සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව දන්නා ඤාණය.
“මහණෙනි, මොහු ඤාණ වස්තු හතලිස් හතර යයි” කියනු ලැබෙත්”
“මහණෙනි, ජරාමරණය කවරේද? ඒ ඒ සත්ව නිකායෙහිවූ, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළි වැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයි කියනු ලැබේ. ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවී යාමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්‍යුනම්වූ මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීරයාගේ අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ දිරීමද; මේ මැරීමද, ජරා මරණයයි කියනු ලැබේ ජාති හේතුකොට ගෙන (උප්පත්තිය ඇතිවීමෙන්) ජරා මරණ ඇතිවේ. ජාති නිරෝධයෙන් (උප්පත්තිය නැති කිරීමෙන්) ජරා මරණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරා මරණය නැති කිරීමට ගමන් කළයුතු මාර්ගයයි (කියනු ලැබේ.) හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය සම්මාවායාමය. සම්මාසතිය සහ සම්මාසමාධියයි.
“මහණෙනි, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජරා මරණය දනීද, මෙසේ ජරා මරණයන්ගේ හේතු දනීද, මෙසේ ජරා මරණයන්ගේ නැතිවීම දනීද, මෙසේ ජරා මරණ නැතිකරන මාර්ගය දනීද, මෙය ඔහුගේ චතුස්සත්‍යය දක්නා ඥානය වන්නේය. හෙතෙම නුවණින් දක්නාලද, නුවණින් අවබෝධ කරන ලද කල් නොගොස් අනතුරුවම ඵල දෙන ස්වභාවය ඇති, පැමිණියාවූ නුවණින් බැසගන්නා ලද, මේ චතුරාර්ය සත්‍යධර්මයන් දක්නා ඥානයෙන් අතීත අනාගත කාල දැනගන්නාවූ ඥානයටද පමුණුවන්නේය. අතීත කාලයෙහිවූ, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරා මරණය දැනගත්තාහුද, ජරාමරණයන්ගේ හේතු දැනගත්තාහුද, ජරා මරණයන්ගේ නැතිවීම දැනගත්තාහුද, ජරා මරණය නැතිකරන මාර්ගය දැනගත්තාහුද ඔහු සියලු දෙනම, මම මෙකල්හි යම්සේ දැනගත්තෙම්ද, එසේම දැන ගත්තාහුය. අනාගත කාලයෙහි වෙන යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරාමරණය දැනගන්නාහුද, ජරා මරණයන්ගේ හේතු දැනගන්නාහුද, ජරා මරණයන්ගේ නැතිවීම දැනගන්නාහුද, ජරාමරණය නැතිකරන මාර්ගය දැනගන්නාහුද, ඔවුහු සියලු දෙනම මම යම්සේ මෙකල්හි දැන් දනිම්ද, එසේ දැනගන්නාහුය’ කියායි මෙය ඔහුගේ මාර්ගඥානයට අනුව පහළවන්නාවූ ඥානයයි. (ප්‍රත්‍යවෙක්ෂා ඥානයයි.)
“මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයාහට මාර්ග ඥානයද, ප්‍රත්‍යවෙක්ෂා ඥානයද යන මේ ඥාන දෙක පිරිසිදු වෙත්ද, නිර්මල වෙත්ද, මහණෙනි, මේ ආර්යශ්‍රාවක තෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්ත වූයේයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්ත වූයේයයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂ ඥානයෙන් යුක්තයයි කියාද ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද, කියනු ලැබේ.
“මහණෙනි, ජාතිය නම් කවරේද? ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැසගැනීමක්, ඉපදීමක්, ස්කන්ධයන්ගේ ඇතිවීමක්, ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි (උප්පත්තියයි) කියනු ලැබේ.
“මහණෙනි, භවය නම් කවරේද? මහණෙනි, කාම භවය, රූප භවය, සහ අරූප භවයයි කියා මේ භවයෝ තිදෙනෙක් වෙත්. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.
“මහණෙනි, උපාදානය කවරේද? මහණෙනි, කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය සහ අත්තවාදුපාදානයයි කියා මේ උපාදානයෝ (දැඩිව අල්වා ගන්නෝ) සිව් දෙනෙක් වෙති. මහණෙනි, මෙය උපාදානයයි (දැඩිව අල්වා ගැනීමයයි) කියනු ලැබේ.
“මහණෙනි, තණ්හාව කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඵොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි කියා, මේ තණ්හා සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය තණ්හාවයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව කවරේද? මහණෙනි, ඇස හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, කණ හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, නහය හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, දිව හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව, කය හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව සහ සිත හා ගැටීමෙන් ඇතිවෙන වේදනාව යයි කියා මේ වේදනා සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය වේදනාවයයි කියනු ලැබේ.
“මහණෙනි, ස්පර්ශය කවරේද? මහණෙනි, චක්ඛුස්පර්ශය, ශ්‍රොත ස්පර්ශය, ඝ්‍රාණ ස්පර්ශය, ජිව්හා ස්පර්ශය, කාය ස්පර්ශය සහ මනස් ස්පර්ශයයි කියා මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.
“මහණෙනි, සළායතන කවරේද? මහණෙනි, චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනයයි කියා මේ ආයතන සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ.
“මහණෙනි, නාමරූප කවරේද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයද යන මෙය රූපයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමයද, රූපයද නාම රූපයයි කියනු ලැබේ.
“මහණෙනි, විඤ්ඤාණය කවරේද? මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණයයි කියා මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙක් වෙති. මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ.
“මහණෙනි, සංස්කාර කවරේද? මහණෙනි, කාය සංඛාරය, වචී සංඛාරය සහ චිත්ත සංඛාරයයි කියා මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙති. මහණෙනි, මොවුහු සංස්කාරයෝ යයි කියනු ලැබෙත්.
“අවිජ්ජාව ඇතිවීමෙන් සංස්කාර ඇතිවේ. අවිජ්ජාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාර නැතිකිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගයයි (කියනු ලැබේ.) හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සංකප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.
“මහණෙනි, යම් හෙයකින් ආර්යශ්‍රාවක තෙම වනාහි මෙසේ සංස්කාරයන් දනීද, මෙසේ සංස්කාරයන්ගේ හේතු දනීද, මෙසේ සංස්කාරයන්ගේ නැතිවීම දනීද, මෙසේ සංස්කාරයන් නැතිකරන මාර්ගය දනීද, මෙය මාර්ගඥානය වන්නේය. හෙතෙම නුවණින් දක්නාලද, නුවණින් දන්නා ලද, කල් නොගොස් ඵලදෙන ස්වභාවය ඇති, අවබෝධ කරනලද, නුවණින් පිවිසෙන ලද, මේ චතුරාර්ය සත්‍ය දන්නා ඥානයෙන්, අතීත කාල අනාගත කාල දක්නා නුවණටද පමුණුවයි. අතීත කාලයෙහිවූ යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරයන් දැනගත්තාහුද, සංස්කාරයන්ගේ හේතු දැනගත්තාහුද, සංස්කාරයන්ගේ නැතිවීම් දැනගත්තාහුද, සංස්කාරයන් නැතිකරන මාර්ගය දැන ගත්තාහුද ඔවුහු සියලු දෙනම, මම යම්සේ මෙකල්හි දනිම්ද, එසේම දැන ගත්තාහුය. අනාගත කාලයෙහි වෙන යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සංස්කාරය දැනගන්නාහුද, සංස්කාරයන්ගේ හේතු දැනගන්නාහුද, සංස්කාරයන්ගේ නැතිවීම දැනගන්නාහුද, සංස්කාර නැති කරන මාර්ගය දැනගන්නාහුද, ඔවුහු සියලු දෙනම මම යම්සේ මෙකල්හි දැන් දනිම්ද, එසේ දැනගන්නාහුය කියායි. මෙය ඔහුගේ මාර්ගඥානයට අනුව පහළවන ඥානයයි (ප්‍රත්‍යවේක්ෂා ඥානයයි.)
“මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයාගේ මාර්ග ඥානයද, ප්‍රත්‍යවේක්ෂා ඥානයද යන මේ ඥාන දෙක වනාහි පිරිසිදු වෙත්ද, නිර්මල වෙත්ද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූයේයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තවූයේ යයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂ ඥානයෙන් යුක්තයයි කියාද, ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද, කියනු ලැබේ.”
(තුන්වෙනි ඤාණ වත්ථු සූත්‍රය නිමි.)