සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

7. මහා වර්ගය

7. නළකලාපිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් “මහා කොට්ඨිත” ස්ථවිරයන් වහන්සේද, බරණැස් නුවර ඉසිපතනයෙහිවූ, මිගදායෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් “මහාකොට්ඨිත” ස්ථවිරතෙම සවස් කාලයෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් හා සමග සතුටු වූයේය. සතුටුවිය යුතු වූත් සිහිකටයුතු වූත් කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙම වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් හට මෙය කීයේය.

“ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, කිමෙක්ද? ජරාමරණය තමා විසින් කරන ලද්දේද? ජරාමරණය අනුන් විසින් කරන ලද්දේද? ජරාමරණය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් ජරාමරණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලදුව ඉබේ ඇතිවූයේද”? “ඇවැත් කොට්ඨිතය, ජරාමරණය වනාහි තමන් විසින් නොකරන ලදී. ජරාමරණය අනුන් විසින් නොකරන ලදී. ජරාමරණය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලදී. ජරාමරණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලදුව, ඉබේ ඇති නොවූයේය. එතකුදුවුවත් ජාතිය (ඉපදීම නිසා) ජරා මරණය ඇතිවේ.”

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? ජාතිය (ඉපදීම) තමා විසින් කරන ලද්දේද? ඉපදීම අනුන් විසින් කරන ලද්දේද? ඉපදීම තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් ඉපදීම තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ. ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය ඉපදීම වනාහි තමන් විසින් නොකරන ලද්දේය. ඉපදීම අනුන් විසින් නොකරන ලද්දේය. ඉපදීම තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. ඉපදීම තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් භවය නිසා ඉපදීම ඇතිවේ.”

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? භවය තමා විසින් කරන ලද්දේද? භවය අනුන් විසින් කරන ලද්දේද? භවය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේ නොහොත් භවය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය භවය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. භවය අනුන් විසින් නොකරන ලද්දේය. භවය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. භවය තමන් විසින් හෝ අනුන් විසින් නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් උපාදානය නිසා භවය ඇතිවේ.”

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? උපාදානය තමා විසින් කරන ලද්දේද? උපාදානය අනුන් විසින් කරන ලද්දේද? උපාදනය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් උපාදානය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය උපාදානය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. උපාදානය අනුන් විසින් නොකරන ලද්දේය. උපාදානය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. උපාදනය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් තණ්හාව නිසා උපාදනය ඇතිවේ.”

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? තණ්හාව තමා විසින් කරන ලද්දේද? තණ්හාව අනුන් විසින් කරන ලද්දේද? තණ්හාව තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් තණ්හාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය තණ්හාව වනාහි තමන් විසින් නොකරන ලද්දේය. තණ්හාව අනුන් විසින් නොකරන ලද්දේය. තණ්හාව තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. තණ්හාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් වේදනාව නිසා තණ්හාව ඇතිවේ.”

ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? වේදනාව තමා විසින් කරන ලද්දේද? වේදනාව අනුන් විසින් කරන ලද්දේද? වේදනාව තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් වේදනාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය වේදනාව වනාහි තමන් විසින් නොකරන ලද්දේය. වේදනාව අනුන් විසින් නොකරන ලද්දේය. වේදනාව තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. වේදනාව තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.”

ඇවැත් ශාරිපුත්‍රයෙනි කිමෙක්ද? ස්පර්ශය තමා විසින් කරන ලද්දේද? ස්පර්ශය අනුන් විසින් කරන ලද්දේද? ස්පර්ශය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් ස්පර්ශය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය ස්පර්ශය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. ස්පර්ශය අනුන් විසින් නොකරන ලද්දේය. ස්පර්ශය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. ස්පර්ශය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.”

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? සළායතන තමා විසින් කරන ලද්දේද? සළායතන අනුන් විසින් කරන ලද්දේද? සළායතන තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් සළායතන තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති වූයේද?” “ඇවැත් කොට්ඨිතය සළායතන වනාහි තමන් විසින් නොකරන ලද්දේය. සළායතන අනුන් විසින් නොකරන ලද්දේය. සළායතන තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. සළායතන තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් නාමරූප නිසා සළායතන ඇතිවේ.”

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? නාමරූප තමා විසින් කරන ලද්දේද? නාමරූප අනුන් විසින් කරන ලද්දේද? නාමරූප තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් නාමරූප තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය, නාමරූප වනාහි තමන් විසින් නොකරන ලද්දේය. නාමරූප අනුන් විසින් නොකරන ලද්දේය. නාමරූප තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. නාමරූප තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ.”

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද? විඤ්ඤාණය තමා විසින් කරනලද්දේද? විඤ්ඤාණය අනුන් විසින් කරන ලද්දේද? විඤ්ඤාණය තමන් විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේද? නොහොත් විඤ්ඤාණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇතිවූයේද?” “ඇවැත් කොට්ඨිතය, විඤ්ඤාණය වනාහි තමන් විසින් නොකරන ලද්දේය. විඤ්ඤාණය අනුන් විසින් හෝ නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේ.”

“දැන් වනාහි අපි ඇවැත් සැරියුත් තෙරුන්ගේ කීම මෙසේ දැනගතිමු. (කෙසේද?) ඇවැත් කොට්ඨිතය, නාම රූපය වනාහි තමා විසින් නොකරන ලද්දේය. නාමරූපය අනුන් විසින් නොකරන ලද්දේය. නාමරූපය තමන් විසින්ද අනුන් විසින්ද නොකරන ලද්දේය. නාමරූපය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය. එහෙත් විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය’ කියායි. දැන් වනාහි ඇවැත් සැරියුත් තෙරුන්ගේ කීම මෙසේ අපි දැනගතිමු. (කෙසේද?) ‘ඇවැත් කොට්ඨිතය, විඤ්ඤාණය වනාහී තමා විසින් නොකරන ලද්දේය. විඤ්ඤාණය අනුන් විසින් නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින්ද, අනුන් විසින්ද නොකරන ලද්දේය. විඤ්ඤාණය තමන් විසින් හෝ අනුන් විසින් හෝ නොකරන ලද්දේ, ඉබේ ඇති නොවූයේය’ කියායි. එහෙත් නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේ යනුයි.

“ඇවැත් සාරිපුත්‍රයෙනි, කෙසේ වනාහි මේ කීමෙහි අර්ථය දතයුතු වන්නේද?” “ඇවැත්නි, එසේවී නම් ඔබට උපමාවක් කරන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඇතැම් නැණවත් පුරුෂයෝ කියන ලද්දහුගේ අදහස දැනගනිත්. ඇවැත්නි, යම්සේ බටලී මිටි දෙකක් එකක් අනික නිසා සිටින්නාහුද, එසේම ඇවැත්නි නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

“ඇවැත්නි, ඉදින් ඒ බටලී මිටි දෙකින් එකක් අදින්නේ නම් එකක් වැටෙන්නේය. ඉදින් අනික අදින්නේ නම් අනික වැටෙන්නේය. එසේම ඇවැත්නි නාමරූප නැතිවීමෙන් (නාමරූප නිරොධයෙන්) විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේ. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවේ. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේ. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවේ. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහය නැතිවේ.

“ඇවැත් සාරිපුත්‍රයෙනි, ආශ්චර්යයි. ඇවැත් ශාරිපුත්‍රයෙනි, අද්භූතයි. යම් හෙයකින් ඇවැත් සැරියුත් තෙරුන් විසින් මෙය මනාකොට කියනු ලැබීද, (එහෙයින්) අපි වනාහි ඇවැත් සැරියුත් තෙරුන්ගේ මේ කීම මේ ස තිසක් වස්තුවෙන් අනුමෝදන් වෙමු. ඉදින් ඇවැත්නි, මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, (ඔහුට) ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, (ඔහුට) ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ජරා මරණයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම ජාතියට (ඉපදීමට) කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ඉපදීමට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි මහණතෙම ඉපදීමට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැති කිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන්, මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම භවයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම භවයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුව යයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම භවයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන්, මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම උපාදානයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථීක භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම උපාදානයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණ තෙම උපාදානයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැති කිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම තණ්හාවට කලකිරීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, හෙතෙම තණ්හාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම තණ්හාවට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැති කිරීමෙන්. (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම වේදනාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම වේදනාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම ස්පර්ශයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ස්පර්ශයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම ස්පර්ශයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම සළායතනයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සළායතනයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සළායතනයන්ට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන් (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, ඔහුට මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම නාමරූපයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම නාමරූපයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි. මහණතෙම නාමරූපයන්ට කලකිරීමෙන්, නොඇලීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේවෙයිද (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම විඤ්ඤාණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම විඤ්ඤාණයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම විඤ්ඤාණයට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම සංස්කාරයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සංස්කාරයන්ට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම සංස්කාරයන්ට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, ඔහුට මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

“ඉදින් ඇවැත්නි, මහණතෙම අවිජ්ජාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, ධර්මය දේශනා කෙරෙයිද, ඔහුට ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම අවිජ්ජාවට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස, පිළිපන්නේ වෙයිද, ඔහුට ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් ඇවැත්නි, මහණතෙම අවිජ්ජාවට කලකිරීමෙන්, නොඇලීමෙන්, (එය) නැතිකිරීමෙන්, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයිද, (ඔහුට) මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

(හත්වන නළකලාපිය සූත්‍රය නිමි.)