සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
1. නානත්ත වර්ගය
4. වේදනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනා වන්ගේ නානත්වය ඇතිවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද?”
චක්ඛු ධාතුව, සෝත ධාතුව, ඝාන ධාතුව, ජිව්හා ධාතුව කාය ධාතුව සහ මනෝ ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේද?
“මහණෙනි, චක්ඛු ධාතුව නිසා චක්ඛු සම්ඵස්සය ඇතිවේ. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් උපදින වේදනා තොමෝ ඇති වන්නීය.
“මහණෙනි, සෝත ධාතුව නිසා සෝතසම්ඵස්සය ඇතිවේ. සෝතසම්ඵස්සය නිසා සෝතසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය.
“මහණෙනි ඝාන ධාතුව නිසා ඝානසම්ඵස්සය ඇතිවේ. ඝානසම්ඵස්සය නිසා ඝානසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය.
“මහණෙනි, ජිව්හා ධාතුව නිසා ජිව්හා සම්ඵස්සය ඇතිවේ. ජිව්හා සම්ඵස්සය නිසා ජිව්හා සම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය.
“මහණෙනි, කාය ධාතුව නිසා කාය සම්ඵස්සය ඇතිවේ. කාය සම්ඵස්සය නිසා කාය සම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය.
“මහණෙනි, මනෝ ධාතුව නිසා මනෝ සම්ඵස්සය ඇතිවේ. මනෝ සම්ඵස්සය නිසා මනෝ සම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේ.”
(සතරවෙනි වේදනා සූත්‍රය නිමි.)