සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

1. නානත්ත වර්ගය

3. නෝසම්ඵස්ස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවෙයි.

“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද?

“චක්ඛුධාතුව, සොතධාතුව, ඝානධාතුව, ජිව්හාධාතුව, කායධාතුව සහ මනොධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.

“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇතිනොවේද?

“මහණෙනි චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය ඇතිවේ. චක්ඛු සම්ඵස්සය නිසා චක්ඛුධාතුව ඇති නොවේ.

“මහණෙනි, සෝතධාතුව නිසා සෝතසම්ඵස්සය ඇතිවේ. සෝත සම්ඵස්සය නිසා සෝත ධාතුව ඇති නොවේ. මහණෙනි, ඝාන ධාතුව නිසා ඝාන සම්ඵස්සය ඇතිවේ. ඝාන සම්ඵස්සය නිසා ඝාන ධාතුව ඇති නොවේ. මහණෙනි, ජිව්හා ධාතුව නිසා ජිව්හාසම්ඵස්සය ඇතිවේ. ජිව්හාසම්ඵස්සය නිසා ජිව්හා ධාතුව ඇති නොවේ. මහණෙනි, කාය ධාතුව නිසා කාය සම්ඵස්සය ඇතිවේ. කාය සම්ඵස්සය නිසා කාය ධාතුව ඇති නොවේ. මහණෙනි, මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය ඇතිවේ. මනෝ සම්ඵස්සය නිසා මනෝධාතුව ඇති නොවේ.

“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.”

(තුන්වෙනි නෝසම්ඵස්ස සූත්‍රය නිමි.)