සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
3. තුන්වැනි වර්ගය
8. ඡවි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි, සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ, ඇට සිඳියි. ඇට සිඳ, ඇටමිඳුලුවල හැපී සිටියි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(අටවෙනි ඡවි සූත්‍රය නිමි.)