සංයුත්තනිකායො

නිදාන වර්ගය

6. ලාභසක්කාර සංයුත්තය

3. තුන්වැනි වර්ගය

7. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා සිව්පස නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ හේතුව නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ නැතිවීම නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය නොදනිත්ද, (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ඇතිවීමේ හේතුව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ නැතිවීම දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය දනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙති.”

(හත්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)