සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
4. සතරවැනි වර්ගය
1. භින්දි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද නැසුණු කුසල් සිත් ඇත්තාවූ දෙවදත්තතෙමේ සංඝයා භේද කළේය. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මියයුතුයි.”
(පළමුවෙනි භින්දි සූත්‍රය නිමි.)