සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
3. තුන්වැනි වර්ගය
10. භික්ඛු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම් ඒ ආශ්‍රවයන් ක්ෂය කළාවූ, රහත්වූ, භික්ෂුවක් වෙයිද, ඒ මහණහටද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අන්තරාය පිණිස වේයයි මම කියමි.” මෙසේ දේශනා කළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන්වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, කවර හෙයකින් ක්ෂීණාශ්‍රව මහණහුට වනාහි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අන්තරාය පිණිසවේද?” “ආනන්දය ඒ රහත් භික්ෂුවගේ වෙනස් නොවන යම් අර්හත් ඵල නම්වූ චේතොවිමුක්තියක් වේද, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒ චේතොවිමුක්තියට අන්තරාය කරයයි මම නොකියමි.
“ආනන්දය, අප්‍රමාදවූ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නිවන කරා යවන ලද සිත් ඇත්තාවූ, ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නාවූ, යම් ශ්‍රමණයෝ වෙත්ද, ඒ ශ්‍රමණයන්හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අන්තරාය පිණිස වේයයි මම කියමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“ආනන්දය, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දසවෙනි භික්ඛු සූත්‍රය නිමි.)
තුන්වෙනි වර්ගය නිමි.
මාතුගාම සූත්‍රය, කල්‍යාණි සූත්‍රය, පුත්‍ර සූත්‍රය, ධීතු සූත්‍රය, සමණ බ්‍රාහ්මණ සූත්‍ර තුනය, ඡවි සූත්‍රය, රජ්ජු සූත්‍රය, සහ භික්ඛු සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.