සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
1. ප්‍රථම වර්ගය
6. අසනි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, හෙනසැරය කාහට වදීවාද? නො පැමිණෙන ලද රහත් ඵලය ඇති ඒ ශෛක්ෂ පුද්ගලයාහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැමිණේවා.
මහණෙනි, හෙන සැරය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට නමකි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(හයවෙනි අසනි සූත්‍රය නිමි.)