සංයුත්තනිකායො

නිදාන වර්ගය

6. ලාභසක්කාර සංයුත්තය

1. ප්‍රථම වර්ගය

5. පුනේළක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි, වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

‘මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, යම්සේ වනාහි අසූචි අනුභව කරන්නාවූ, අභ්‍යන්තරයෙහි අසූචි පිරුණාවූ, ගූථයෙන් පිරුණාවූ, අසූචියෙහි ජීවත්වන පණුවෙක් උගේ ඉදිරියෙහිද මහත්වූ අසූචි ගොඩක් වෙයි. ඒ අසූචි අනුභව කොට ජීවත්වෙන පණුවා මම වනාහි අසූචි අනුභව කරන්නෙක්මි. අභ්‍යන්තරයෙහි අසූචියෙන් පිරුණෙක්මි. ගූථයෙන් පිරුණේ වෙමි. මාගේ ඉදිරියෙහිද මේ මහත්වූ අසූචි ගොඩක් ඇත්තේයයි කියමින් අනෙක් පණුවන් පහත් කොට හඟියි.

“මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කළ කුසල් සිත් ඇත්තේ පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පොරවා පාත්‍රය ගෙන කුඩා ගමකට හෝ මහා ගමකට හෝ පිඬු පිණිස යන්නේය. හෙතෙම එහිදී ඇතිතාක් වළඳන ලද්දේද වෙයි. හෙට පිණිස ආරාධනා කරන ලද්දේදවෙයි. ඔහුගේ පාත්‍රයද පිරුණේ වෙයි. හෙතෙම ආරාමයට ගොස්, භික්ෂු සංඝයා මැද පුරසාරම් දොඩයි. (කෙසේද?) ‘ඇතිතාක් වැළඳුයේ වෙමි. හෙට දවස පිණිසද ආරාධනා කරනු ලැබුයේ වෙමි. මාගේ මේ පාත්‍රයද පිරුණේ වෙයි. මම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු වනාහි ස්වල්ප පින් ඇත්තෝය. අල්පෙශාක්‍යයෝය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකරද නොලබන්නෝය’ කියායි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ අන්‍යවූ සිල්වත් භික්ෂූන් පහත්කොට හඟියි.

“මහණෙනි, එය වනාහි ඒ මෝඩ පුරුෂයාට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස හෙතුවෙයි. මහණෙකි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල්සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.

(පස්වෙනි පුනේළක සූත්‍රය නිමි.)