සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

10. බිළාර සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.

එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් බොහෝ වේලා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. ඒ මොහුට සෙසු භික්ෂූහු මෙසේ කීවාහුය. “ඇවැත්තෙම බොහෝ වේලා කුලයන්හි නොපැමිණෙව” කියායි. සෙසු භික්ෂූන් විසින් කියනු ලබන්නාවූ ඒ මහණතෙම නොසතුටු වෙයි. ඉක්බිති බොහෝ භික්ෂූහු වනාහි භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා අලුත් භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණෙයි. ඒ මොහුට භික්ෂූහු මෙසේ කීවාහුය. ‘ආයුෂ්මත්තෙම කුලයන් කරා බොහෝවේලා නොපැමිණෙව’ කියායි. ඒ මහණතෙම භික්ෂූන් විසින් කියනු ලබන්නේ නොසතුටුවෙයි,’ කියායි.

“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. බළලෙක් ගෙවල් දෙකක් අතරෙහිවූ, (ගමේ කසල සෝදාහරින) කාණුවක් සමීපයෙහිවූ, කුණු ගොඬේ යම් වේලාවක ‘මේ ‘මුදු’ නමැති මීයෙක් ගොදුරු පිණිස යන්නේවේද, එහිදීම ඌ අල්ලාගෙන කන්නෙමියි’ ‘මුදු’ නම් මීයෙකු සොයමින් සිටියේ විය. මහණෙනි, ඉක්බිති ඒ ‘මුදු’ නම් මීයා ගොදුරු පිණිස ගියේය. ඒ මීයා බළලා අල්ලාගෙන වහා කා ගිල්ලේය. ඒ ‘මුදු’ නම් මීයා ඒ බළලාගේ බඩවැලද කෑවේය. කුඩා බඩවැලද කෑවේය ඒ බළලා ඒ හේතුකොටගෙන මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණියේය.”

“මහණෙනි, මෙසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍රසිවුරුගෙන, ගමකට හෝ නියම්ගමකට හෝ නොරක්නා ලද්දාවූ කයින්, නො රක්නා ලද්දාවූ වචනයෙන් නොරක්නා ලද්දාවූ සිතින් එළඹ නොසිටි සිහියෙන් සංවර නොකරනලද්දාවූ ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව පිඬු පිණිස පිවිසෙයිද. ඒ මහණතෙම ඒ ගමෙහිදී හෝ නියම්ගමෙහිදී හෝ නපුරුකොට හඳිනලද හෝ නපුරුකොට පොරවනලද හෝ ස්ත්‍රියක් දකියි. නපුරුකොට අඳිනලද හෝ නපුරුකොට පොරොවනලද හෝ ස්ත්‍රියක් දැක, ඒ මහණහුගේ සිත රාගය කලඹයි. රාගයෙන් කලඹනලද සිතින් යුක්තවූ ඒ මහණතෙම මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණෙයි.

“මහණෙනි, යමෙක් ශික්ෂාව ප්‍රතික්ෂෙපකොට, ගිහි වේද, මේ ගිහිවීම ආර්‍ය්‍ය විනයෙහි වනාහි මරණයයි කියනු ලැබේ. මහණෙනි, යම් ආකාරවූ ඇවතකින් නැඟීම පෙනේද, එවැනිවූ යම් මේ එක්තරා කිළිටිවූ ඇවතකට පැමිණේද, මේ පැමිණීම වනාහි මරණය හා සමාන දුකයයි කියනු ලැබේ. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘රක්නා ලද්දාවූම කයින්, රක්නාලද වචනයෙන්, රක්නාලද සිතින්, එළඹසිටි සිහියෙන්, සංවර කරනලද ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමුය’ කියායි. තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දසවෙනි බිළාර සූත්‍රය නිමි.)