සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

12. ධර්මකථික වර්ගය

8. සඤ්ඤොජන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්මත් සංයොජන ධර්මත් දෙශනා කරන්නෙමි. එය අසව්, මහණෙනි, සංයොජනයන්ට හිතවූ ධර්ම කවරහුද? සංයොජන කවරේද? මහණෙනි, රූපය සංයෝජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයොජන නම් වේ. වේදනාව සංයොජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයොජන නම් වේ. සඤ්ඤාව සංයොජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයොජන නම් වේ. සංස්කාර සංයොජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද, එය එහි සංයොජන නම් වේ. විඤ්ඤාණය සංයොජනයන්ට හිතවූ ධර්මයකි. එහි යම් ඡන්දරාගයක් වෙයිද එය එහි සංයොජන නම් වේ. මහණෙනි, මොව්හු සංයොජනයන්ට හිතවූ ධර්මයෝයයි ද සඤ්ඤොජන ධර්මයයිද කියනු ලැබෙත්.”

(අටවෙනි සඤ්ඤොජන සූත්‍රය නිමි.)