සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
13. අවිජ්ජා වර්ගය
2. සමුදය ධම්ම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ.
“ඇවැත් ශාරිපුත්‍රයෙනි, අවිද්‍යාවය අවිද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි ඇසූපිරූ තැන් නැති පෘථග්ජනතෙමේ හටගැනීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම ස්වභාවකොට ඇති රූපයයි ඇතිසැටි නොදනියි, නැතිවීම ස්වභාවකොට ඇති රූපය නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි ඇතිසැටි නොදනියි, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති රූපයයි ඇතිසැටි නොදනියි.
“හටගැනීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම ස්වභාවකොට ඇති වේදනාවයයි ඇතිසැටි නොදනියි, නැති වීම ස්වභාවකොට ඇති වේදනාව නැතිවීම ස්වභාව කොට ඇති වේදනාවයයි ඇතිසැටි නොදනියි, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති වේදනාවයයි ඇතිසැටි නොදනියි.
“හටගැනීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි නොදනියි, නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව නැතිවීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි නොදනියි, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති සංඥාවයයි ඇති සැටි නොදනියි.
“හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි නොදනියි, නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන් නැතිවීම ස්වභාව කොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි නොදනියි, හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති සංස්කාරයන් හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි නොදනියි.
“හටගැනීම ස්වභාවකොට ඇති විඥානය හටගැනීම ස්වභාවකොට ඇති විඥානයයි ඇතිසැටි නොදනියි, නැතිවීම ස්වභාවකොට ඇති විඥානය නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි නොදනියි, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණය හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි නොදනියි, ඇවැත්නි මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම අවිද්‍යාවට පැමිණියේ වෙයි.
(දෙවෙනි සමුදය ධර්ම සූත්‍රය නිමි.)