සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
13. අවිජ්ජා වර්ගය
3. සමුදය ධම්ම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ.
“ඇවැත් සැරියුත් තෙරණුවනි, විද්‍යාවය විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සාසනයෙහි (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ හටගැනීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම ස්වභාවකොට ඇති රූපයයයි ඇති සැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති රූපය නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි ඇතිසැටි දනියිද,
“හටගැනීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම ස්වභාවකොට ඇති වේදනාවයයි ඇතිසැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව නැතිවීම ස්වභාවකොට ඇති වේදනාවයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති වේදනාවයයි ඇතිසැටි දනියිද,
“හටගැනීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව නැතිවීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති සංඥාව හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි දනියිද,
“හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි දනියිද, නැති වීම ස්වභාවකොට ඇති සංස්කාරයන් නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැති වීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි දනියිද,
‘හටගැනීම ස්වභාවකොට ඇති විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණය නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණය හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි දනියිද, ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි.
(තුන්වෙනි සමුදය ධම්ම සූත්‍රය නිමි.)