සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

13. අවිජ්ජා වර්ගය

7. සමුදය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය.

එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් ශාරිපුත්‍රය, විද්‍යාව විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.

“ඇවැත්නි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ හටගැනීමද, දුරලීමද, රස විඳගැනීමද (ආශ්වාදයද) ආදීනවයද (දොස්ද), නික්මීමද, ඇතිසැටි දනියි.

“ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම විද්‍යාවට පැමිණියේද වෙයි.”

(හත්වෙනි සමුදය සූත්‍රය නිමි.)