සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
13. අවිජ්ජා වර්ගය
6. සමුදය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතු වූත් කථාව කොට නිමවා එක්පැත්තක හුන්නේය.
එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් ශාරිපුත්‍රය, අවිද්‍යාවය, අවිද්‍යාවයයි කියනු ලැබේ.
“ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, දුරු කිරීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි, වේදනාවගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. සංඥාවගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියි. විඥානයාගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි.
“ඇවැත්නි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි.”
(හයවෙනි සමුදය සූත්‍රය නිමි.)